වැලිඔය ගොවි රජෙක් අඛණ්ඩ උපවාසයක


(පියදාස සමරවීර)

රජයේ ඇතැම් නිලධාරීන් තමන් රවටන බවට චෝදනා කරමින් තමන් මුහුණ පා සිටින ගැටළුවලට විසැඳුම් ඉල්ලා වැලිඔය හැලබවැව  ගොවිසංවිධානයේ සභාපති ඇතුලු පිරිසක් අද (02) උපවාසයක් ආරම්භ කළහ.

වැලිඔය ගම්මානයේ දී මෙම උපවාසය  ආරම්භ කොට ඇති අතර වැලිඔය සංවර්ධන කටයුතු සදහා ලැබෙන මුදල් නිලධාරීන්ගේ සාක්කු පුරවා ගැනීමට කටයුතු කරනවා මිස ගොවියාට සෙතක් නොවන බවත් මේ සම්බන්ධව ඉහල නිලධාරීන්ගේ හා බලධාරීන්ගේ අවධානය යොමු කරන තුරු තමන් උපවාසය අත් නොහරින බවත් වැලිඔය හැලබවැව "සමගි" ගොවිසංවිධානයේ සභාපති කේ.කේ.ජී.ජයන්ත කාරියවසම් (45) මහතා පවසයි.

මේ ඔවුන්ගේ හඬයි " අපි ගොවිතැන් කරන්නේ හැලඹ වැව යටතේ.  2012 දී ඉදලා කනත්ත ඇළ උදැල්ලෙන් කපලා වැවට වතුර ගෙනැල්ලා අපි ගොවිතැන් කළේ.

2019 දී වැලිඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් ලක්ෂ 85 ක් පාස් කරගෙන ග්‍රාම නිලධාරීත් එක්ක එකතුවෙලා ඒ කනත්ත ඇල යන්ත්‍ර දාගෙන කපලා පොල් පිතිවලින් බැම්ම තලලා ඒ සල්ලි ගත්තා.

ඒ ලක්ෂ 85 ක් වියදම් කරලා ඇළ කැපුවා අපට කිසිම ප්‍රයෝජනයක් නෑ. දැන් ඇල ගොඩ වෙලා.

මේවා ගන පරීක්ෂණ කරන්න කියලා ඉල්ලුවා ඒවා යට ගිහිල්ලා. අපේ වැවට යාන්ඔයෙන් ජලය ගන්න පුලුවන්. ඒත් එය ඉටුකර දෙන්න නිලධාරීන්ගේ හෝ බලධාරීන්ගේ ඇස් යොමු වෙලා නෑ. යැයි ද කීය.