අද දවසේ ගෘහස්ථ සංගීත ප‍්‍රසංග බෙහෙවින්ම ජනප‍්‍රියය. සුභාවිත ගීතයට ඇලූම් කරන බොහෝ රසිකයෝ මෙම සංගීත ප‍්‍රසංග සොයාගෙන යති. විශාරද එඞ්වඞ් ජයකොඩිගේ මාරම්බරී, විශාරද සුනිල් එදිරිසිංහගේ සඳකඩ පහණ, ටී.එම්. ජයරත්නගේ සොඳුරු අතීතය, විශාරද අමරසිරි පීරිස්ගේ හන්තානට පායන සඳ, කරුණාරත්න දිවුල්ගනේගේ නිල් දියවර, විශාරද දීපිකා ප‍්‍රියදර්ශනීගේ කවිය ඔබ වර්තමානයේ බෙහෙවින්ම ජනප‍්‍රිය ඒක පුද්ගල ගී ප‍්‍රසංගයන්ය. ඒ ප‍්‍රසංග හැරුණුවිට ශිල්පීන් දෙතුන් දෙනා එක්ව පවත්වන විවිධ නම් ගත් ප‍්‍රසංගද බොහෝය. මේ ප‍්‍රසංග වලින් වැඩි හරියක නිවේදක කටයුතු කරන්නේ වසන්ත රෝහණය.
ඔහු පසුගියදා පැවැති ප‍්‍රථම ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේදී විශිෂ්ට කථකයාට ලැබෙන සම්මානයෙන් පිදුම් ලැබුවේය.
මේ ඒ වසන්ත රෝහණය.
මොකද්ද මේ ලැබුණයි කියන සම්මානය?
සියලූම ගුවන්විදුලි ආයතන වෙනුවෙන් ප‍්‍රථම වරට පැවැත් වූ 2017 ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙලේ විශිෂ්ටතම කථකයාට හිමි සම්මානය. විශිෂ්ටතම කථකයා තෝරාගෙන තිබුණේ ප‍්‍රාසාංගික කටයුතුවල විශිෂ්ටතම ප‍්‍රශස්තම ඉදිරිපත් කිරීම තුළ ‘සිටි එෆ්.එම්.’ සේවයේ ‘ආරාධනා’ කියන ප‍්‍රසංගයට තමයි. මට මේ සම්මානය හිමිවුණේ.
දක්ෂතම කථකයා කියන්නේ?
වැඩසටහනක් බොහොම රසාලිප්තව අසන්නාගේ පරිකල්පනය පුබුදුවන ආකාරයට, බුද්ධියට, හදවතට අමතන ලෙස ආකර්ෂණීයව ඉදිරිපත් කළ යුතුයි. එසේ ඉදිරිපත් කරන කෙනා තමයි විශිෂ්ටතම කථකයා බවට පත්වෙන්නේ.
කථකයා සහ නිවේදකයා අතර වෙනස මොකක්ද?
නිවේදකයා යම්කිසි දෙයක් පිළිබඳව තමන්ට අදාළ සීමා නිර්ණ තුළ විතරයි ඉදිරිපත් කිරීම කරන්නේ. එහෙමත් නැත්තම්, යම්කිසි විෂයකට, ඒ කතා කරන දෙයට අදාළව විතරක් යම්කිසි සන්දේශයක් ඉදිරිපත් කරනවා. කථකයා එහෙම නෙමෙයි. කථකයා කියන්නේ එම අවස්ථාවේ තමන්ගේ පරිකල්පනයෙන් චින්තන ශක්තියෙන්, අදහස් ඉදිරිපත් කිරීමෙන් ප‍්‍රකාශන ශක්තියත් සහිතව ඉදිරිපත් කිරීම කරනකෙනාට. එයා පිටපතක් කියවන්න යන්නේ නැහැ. සජීවීව එම කාරණය පිළිබඳව කතා කරනවා. ඒ කාරණය පිළිබඳව කතා කරන විට යම්කිසි විෂයක්, නීතියක් රාමුවක් නැතුවම නෙමෙයි. නමුත්, සමහර වෙලාවට සම්ප‍්‍රදායික බව බිඳලා කතා කරනවා. සාම්ප‍්‍රදායික බව බින්ඳට විනය, මාධ්‍ය ධර්මතා බිඳින්න යන්නේ නැහැ. කථාවේ බුහුටිකම, යුහුසුළු බව, විචාරණය, මනා සංගමය වගේම අභ්‍යාසය, හාස්‍ය මුසු වදන් තිබිය යුතුයි. ඒකාකාරී රළු පරළු විදියට කතා කරන්න බැහැ කථකයෙකුට. කථකයා නිරන්තරයෙන් අසන්නා තුළ ප‍්‍රබෝධයක්, උණුසුමක්, කුතුහලයක්, රසවත් බවක් ඇති වෙන ආකාරයට ආකර්ෂණීයව කතා කළ යුතුයි.
මේ ලැබුණු සම්මානය ගැන මොකද හිතෙන්නේ?
මේක ඇත්තටම ඡුන්දයකින්, මනාපයකින්, කූපනයකින්, කෙටි පණිවිඩවලින් ලැබුණු සම්මානයක් නෙමෙයි. මෙයට විධිමත් තේරීමක් තිබුණා කියන එක මට මුල ඉඳන්ම වැටහුණා. මේ මුළු සම්මාන තරඟාවලියටම ගුවන් විදුලි සේවාවන් 47ක් තරඟ කරලා තිබුණා. දහසක් විතර ඉල්ලූම් පත් යොමු කරලා තිබුණා. පිළිගත්, විධිමත්, උගත්, ඉතාමත්ම කෘතහස්ත විනිශ්චය මණ්ඩලයක් නිර්ණායක 4ක් ඔස්සේ මේවා විනිශ්චයට ලක් කරලා තිබුණා. මේ සියල්ලම මට දැනගන්න ලැබුණේ සම්මාන උළෙල ප‍්‍රකාශයට පත්වුණාට පස්සේ. 5 දෙනෙක් තනි තනිව ලකුණු දීලා තිබුණා. බොහොම සියුම්ව හැම දෙයක්ම විනිශ්චයට ලක් කරලා තිබුණා. ඒ අනුව මේ ලැබුණ සම්මානය මට හුඟාක් වටිනවා. ඒ වෙලාවේ මට හිතුණා මේ සම්මානයේ විශාල වශයෙන් ගෞරවයක්, වටිනාකමක් තියෙනවා කියලා. ඒක මට හරි සතුටක්. මෙහෙම දෙයක් දිනාගන්න ලැබීම ගැන.
කථකයෙක් වීමට පටන් ගත්තේ කොහොමද?
ඒකට නම් මගේ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්නේ මගේ ඉස්කෝලේට. ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට. මම පාසල් යන කාලේ තමයි කථිකත්වයට, කථන හැකියාවට, නිවේදන කටයුතුවලට උන්දුවක්, හැකියාවක් හා දක්ෂතාවක් දැක්වූවේ.
ඒ අතීතයේ සිදු වූ රසවත් සිදුවීම්, එහෙම තියෙනවද?
යම් යම් අවස්ථාවල නිවේදන කටයුතු කරන්න පාසලේදීත්, එයින් බාහිරවත් ඉදිරිපත් වුණා. ඒ ඉදිරිපත් වුණාට ඒ හැම දෙයක්ම හරි ගියෙත් නෑ. වේදිකාව ඉස්සරහට ගියාම හිතාගෙන හිටපු දේවල් කතා කරන්න ලැබුණේ නැහැ. කථා කරගන්න බැරුව යනවා. වචන පැටලෙනවා මුලදි මුලදී ඒවා තිබුණා. පිරිසක් ඉදිරියේ කතා කරන කොට බයක්, සැකයක්, චකිතයක්, සබකෝලයක් ඇති වුණා. නමුත් ඒවා ක‍්‍රම ක‍්‍රමයෙන් මඟ හැරුණා. නමුත් අද මම හිතනවටත් වැඩිය මගේ කාර්යය හොඳට නිම කරනවා. අද පිරිස වැඩිවෙන තරමට මගේ ඉදිරිපත් කිරීමේ ස්වරූපය, කලාව බොහොම සුන්දර වෙනවා.
ඔබ කථනය කළ පළමු වැනි ප‍්‍රසංගය මතකද?
ඒක මම කළේ දැනට අවුරුදු 30කට විතර කළින් එල්ෆින්ස්ටන් රඟහලේ පවත්වපු ‘නිශා යාමය’ කියන ප‍්‍රසංගයේදී.
එදා හිතුණු දේ සහ ලැබුණු ප‍්‍රතිචාර එහෙම මොන වගේද?
එදා මම පසුබිම් කථනයක් විතරයි කළේ. හැබැයි මම එදා ප‍්‍රසංගය ඉවරවෙලා වේදිකාව ඉදිරියට ආවාම හුඟක් අය ඇහුවා ‘කව්ද අද නිවේදනය කළේ හරි ලස්සනයි’ කියලා. පස්සේ මම ඒ අයත් එක්ක කතා කෙරුවා ‘මට හරියන තැන මෙතැනයි’ කියලා එදා මට හිතුණා.
අද ගෘහස්ථ ප‍්‍රසංග වේදිකාවේ ජනප‍්‍රියම නිවේදකයා ඔබද?
මා ගැන ඉතින් මම එහෙම කියන එක වැරදියි. හුඟක් අය එහෙම කියනවා.
ප‍්‍රසංග වේදිකාවේ සිදුවුණු අමතක නොවන අත්දැකීම් තිබෙනවද?
එකම දවසක ප‍්‍රසංග දෙකක් බණ්ඩාරනායක සමරු රඟහලේත්, මියුසියස් රඟහලේත් මට වැරදිලා බාර අරගෙන තිබුණා. මම ඒ ප‍්‍රසංග දෙකේම ඉන්නත් ඕනේ. වෙන කෙනෙක් දාන්න විදියකුත් නැහැ. සංවිධායකවරුනුත් කිවුවා මේක නම් කිසිසේත්ම වෙනස් කරන්න බැහැ කියලා. ඊට පස්සේ කතා කරලා බොහොම අමාරුවෙන් කැමති කරවගෙන මම එක ප‍්‍රසංගයක නිවේදන කටයුතු පටිගත කෙරුවා. ඒ පටිගත කළේ ආරම්භය. අනිත් ප‍්‍රසංගයේ අවසානය පටිගත කෙරුවා. ඒක හරි අමාරු වැඩක්. එම ප‍්‍රසංගයේ සංවිධායකවරු, සංගීත අධ්‍යක්ෂකවරු, නාද තුලනය කරනකෙනා අතර අවබෝධයක් ඇති කරලා කරන්න ඕනෙ වැඩක්. මම ආරම්භ කළ ප‍්‍රසංගයේ ගායක ගායිකාවන්ව දැනුම්වත් කරලා අවසාන ටික විතරක් ප‍්‍රචාරය කරන්න දීලා අනිත් ප‍්‍රසංගයට ගියා. එක තැනක තිබුණේ, ඒක පුද්ගල ප‍්‍රසංගයක්. අනිත් තැන තිබුණේ ගායක ගායිකාවන් 4 දෙනෙකුගේ ප‍්‍රසංගයක්. ඒක පුද්ගල ප‍්‍රසංගය කරගෙන ගියේ ටී.එම් ජයරත්න මහත්මයා. ඔහුට මම කිවුවා ‘මම ආරම්භය අරගෙන දීලා අවසාන ටික පටිගත කරලා මෙහෙම දාලා යනවා කියලා. එතුමා අවසාන ටික හරිම ලස්සනට මම එතන ඉන්න විදියට පසුබිම් කථනයෙන් කරගෙන ගිහින් තිබුණා. ඊළඟ ප‍්‍රසංගය තිබුණේ එඞ්වඞ් ජයකොඩි, චරිතා ප‍්‍රියදර්ශනී, අමරසිරි පීරිස් සහ කසුන් කල්හාරගේ එඞ්වඞ් ජයකොඩි මහත්මයා හා චරිතා ප‍්‍රියදර්ශනී මහත්මිය හරිම ලස්සනට ප‍්‍රසංගයේ ආරම්භය අරගෙන තිබුණා. විවේකයෙන් පස්සේ අමරසිරි පීරිස් මහත්මයා හා කසුන් කල්හාර ගායනා කරන වෙලාවට මම ඒ ප‍්‍රසංගයට ආවා. ඒ ශාලාවන් දෙක එක ළඟ තිබුණ නිසා මට කොහොම හරි එදා ඒ ප‍්‍රසංග දෙකේම නිවේදන කටයුතු කරන්න ලැබුනා. ඒක අමාරු ඒවගේම කළනොහැකි නමුත් කළයුතු වුණ දෙයක්. කොහොමහරි එදා සංවිධායකවරුන්ගෙත්, ගායක ගායිකාවන්ගෙත්, නාද තුලන ශිල්පීන්ගෙනුත් ලැබුණු සහයෝගය නිසා මගෙන් වුණ විශාල වැරැුද්දක් පියවා ගත්තා. ඒක ප‍්‍රසංග වේදිකාවේ සිදුවුණ අමතක නොවන සිදුවීමක්.
අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?
අද ඉන්න තැන ගැන මට තියෙන්නේ නිහතමානී සතුටක්. නමුත් මම තවම කල්පනා කරන්නේ අද ඉන්න තැන නෙමෙයි. හෙට මා යා යුතු තැනත් නෙමෙයි. හෙට මගේ නිවේදන කලාව, කථන කලාව තිබිය යුතු තැන පිළිබඳව. මෙතැන දී වසන්ත රෝහණ කියන නම නෙමෙයි වැදගත් වෙන්නේ. මම ඉදිරිපත් කරන දෙය විතරයි.
සඳුනි ඉමල්කා

