වැරදි බදු ගණනය නිසා රේගුවේ කෝටි 12 වතුරේ ගිහින්


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

රටේ සංවර්ධනයට යොදා ගත හැකි විශාල මුදලක් දඩ මුදල් ලෙස නම්කර ඒවා ත්‍යාග මුදල් ලෙස රේගු නිලධාරින් සීමිත පිරිසක් අතරේ බෙදා ගැනීමට කටයුතු කර ඇති බවත් මෙලෙස කටයුතු කිරීම යුක්ති සහගත නැති බවත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාවක සඳහන්වේ.

බදු ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් රජයට හිමිවන පරිදි ශ්‍රී ලංකා රේගුවේ ත්‍යාග මුදල හා සම්බන්ධ නීතිරීති වහාම සංශෝධනය කළ යුතු බව එම කමිටුව පෙන්වා දෙයි.

රේගු නිලධාරීන්ගේ අවදානම් සහිත සේවය වෙනුවෙන් යම්කිසි ත්‍යාග මුදලක් ලබා ගැනීම සාධාරණ වුවද මේ ආකාරයට කටයුතු කිරීම අනුමත නොකරන බවද එම වාර්තාවේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකා රේගුවේ භාණ්ඩ ආනයනයට අදාළ බදු ගණනය කිරීමේ කටයුතුවලදී සිදුවන විවිධ අක්‍රමිකතා හේතුවෙන් රජයට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි .

එකතු කළ අගය මත බදු සහ රේගු බදු අඩුවෙන් අයකර එලෙස අඩුවෙන් ගෙවන ලද බදු අතිරේක බද්දක් ලෙස අය නොකර දණ්ඩනයක් ලෙස ලබා ගැනීමත් දණ්ඩන ලෙස අය කරන මුදල් වලින් සියයට 70 ක පමණ කොටසක් ත්‍යාග මුදල් ලෙස ලබා ගැනීමත් නිසා මෙම පාඩුව සිදුවන බව කෝපා කමිටු විමර්ශනවලදී තොරතුරු හෙළි වී ඇත.

මේ අතර නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයට 2016 වසරේදී ගෙනඑන ලද ගල් අඟුරු වෙනුවෙන් රුපියල් කෝටි දහනවයට ආසන්න බදු මුදලක් අඩුවෙන් ගණනය කිරීමෙන් පසු ඒ හිඟ බදු මුදල වෙනුවෙන් රුපියල් කෝටි 20ක පමණ දණ්ඩනයක් පනවා එම දඩ මුදලින් සියයට 50ක් එනම් රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් ත්‍යාග මුදල් ලෙස ලබාගෙන ඇති බවත් නිලධාරීන්ගේ සුබසාධනය සඳහා වූ වන්දි අරමුදලටද රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් බැර කරගෙන ඇති බවත් කෝපා කමිටු වර්තාව අනාවරණය කරයි.

නිලධාරීන්ගේ මෙම ක්‍රියාවලිය නිසා රජයට රුපියල් කෝටි 12කට වැඩි ආදායමක් අහිමි වී ඇතැයිද එම කමිටුව පෙන්වා දෙයි.