වැද්දොයි සුද්දයි මොනර මස් කාලා


(නිමල් ජයරත්න )

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ, මීට වසර හතරකට හෝ පහකට ඉහතදී  ආරක්ෂිත පක්ෂියෙකු වන මොණරෙකු දුනු, ඊතල,  වලින් මරා පුළුස්සා මස්කර ආහාරයට ගන්නා අයුරු රූ ගතකර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කළ  මහියංගන දඹාන ප්‍රදේශයේ ආදිවාසී පස්දෙනෙකු සහ විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කළ බව හේනානිගල වන සත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්.කුමාරසිරි විජේකෝන් මහතා  පැවසීය.

මාදුරුඔය  ජාතික වනෝද්‍යානයට ඇතුල්වීම ඇතුළු චෝදනා පහක් යටතේ එම පිරිසට එරෙහිව කරුණු ගොනු කර ඇතැයිද ඒ මහතා කීවේය.

පසුගිය දිනක තමන් සමාජ මාධ්‍ය නරඹමින් සිටියදී මාදුරුඔය ජාතික වනෝද්‍යායේ ආරක්ෂිත පක්ෂයෙකු ලෙස හඳුන්වන මොණරෙකු දඩයම් කර ගිනි දල්වා පුළුස්සා විදේශිකයකු සමග එම මස් ආහාරයට ගන්නා අයුරු රූගත කර යූ ටියුබ් නාලිකාවක් ඔස්සේ ප්‍රදර්ශනය කරන අයුරු දුටු බවද ඒ මහතා කීවේය.

මෙම සිද්ධිය 2019 වර්ෂයේ හෝ 2020, වර්ෂයේ සිදුව ඇති බවට සැක කරන බවත්, විදේශිකයා සමග දඹාන ප්‍රදේශයේ ආදිවාසීන් පස්දෙනා එම අපරාධය සාමූහිකව සිදුකර රූගත කිරීම  සිදු කර ඇතැයිද ඒ මහතා කීවේය.

 ඒ අනුව පොදු අරමුණින් යුතුව මෙම අපරාධය සිදුකර ඇති බවට සනාථ වීම නිසා ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුකරන බවද කුමාරසිරි විජේකෝන් මහතා කීවේය.