වැඩියෙන්ම ඡන්දය දුන්නේ හම්බන්තොටින්


මහ මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. එය 81 . 2% ක ප්‍රතිශතයකි. ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩුම ප්‍රතිශතය වර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙනි. එය 61 . 56%ක ප්‍රතිශතයකි. මෙවර මැතිවරණයේ දී යාපනය, පුත්තලම, මඩකලපුව, යන දිස්ත්‍රික්ක තුන හැර අන් සියලු දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම 70% ඉක්මවා තිබීම විශේෂත්වයකි.

හම්බන්තොට ලියාපදිංචි ඡන්ද දායකයන් 462,911 දෙනකු අතරින් ඡන්ද දායකයන් 375,885ක් ඡන්දය ප්‍රකාශ කැර ඇති අතර එය 81 . 2%ක ප්‍රතිශතයකි.

ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයෙන් දෙවැනි ස්ථානයේ ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයයි. එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයන් 810,082ක් අතරින් 80 . 88%ක් හෙවත් ඡන්ද දායකයන් 655,222ක් ඡන්දය ප්‍රකාශ කැර ඇති අතර එම දිස්ත්‍රික්කය ද ජයගෙන ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.

කළුතර හා මොණරාගල දිස්ත්‍රික්ක දෙක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයෙන් තුන්වැනි තැනට පත්ව ඇත්තේ 80 .13% ක ප්‍රමාණයක් මේ දිස්ත්‍රික්ක දෙකෙහි ඡන්දය ප්‍රකාශ කැර ඇති බැවිනි. කළුතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 897,349කි. ඉන් 719,001ක් ඡන්දය ප්‍රකාශ කැර ඇති අතර ඒ  80 . 13%ක ප්‍රතිශතයකි. කළුතර දිස්ත්‍රික්කයේ විශේෂත්වය යන්නේ ද එම දිස්ත්‍රික්කය සන්ධානය ජය ගැනීමයි.

මොණරාගල දිස්ත්‍රික්කයේ ජයග්‍රහණයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව ඇති අතර එහි ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාව 339,797කි. ඉන් 80 .13%ක් ඡන්දය භාවිතා කැර ඇති අතර එම සංඛ්‍යාව 272,279 කි.

ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 80 ඉක්මවූ අනෙක් දිස්ත්‍රික්කය වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයයි. බදුල්ලේ ඡන්දදායකයන් 620,486ක් අතරින් 496,849 දෙනකු ඡන්දය භාවිතා කර ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 80 . 07කි. එම දිස්ත්‍රික්කය ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත්ව ඇත.

මෙවර මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩුම ප්‍රතිශතය වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙනි. එය 61 . 56%ක ප්‍රතිශතයකි. යාපනයේ ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව 529,239ක් වුව ද ඉන් ඡන්දය භාවිතා කැර ඇත්තේ  61 . 56%ක් පමණි. 2010 මහ මැතිවරණය සඳහා යාපනය දිස්ත්‍රික්කයෙන් ඡන්ද දායකයන් 721,359ක් ලියාපදිංචි වී සිටි අතර ඉන් ඡන්දය භාවිතා කරන ලද්දේ 168,277ක් හෙවත් 23 . 33%ක් පමණි.

පුත්තලම දිස්ත්‍රික්කය  68 . 83%ක ඡන්දදායකයන් ප්‍රමාණයක් ඡන්දය භාවිතා කැර ඇත. පුත්තලමේ ලියාපදිංචි ඡන්ද දායකයන් 553,009ක් අතරින් 380,632 ඡන්දය භාවිතා කැර ඇත. දිස්ත්‍රික්කයේ ජය එක්සත් ජාතික පක්ෂයට හිමිවිය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ ද ඇත්තේ 70%ට වඩා අඩු ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයකි. එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන් 356,167 දෙනකු අතරින් ඡන්දය භාවිතා කරන ලද්දේ 252,384 දෙනකු පමණි. එය  69 . 11%ක ප්‍රතිශතයකි. දිස්ත්‍රික්කය ජයගෙන ඇත්තේ දෙමළ ජාතික සන්ධානයයි.