වැඩි මිලට රුසියාවෙන් ගෙන්වූ පිළිකා එන්නත් ප‍්‍රමිතියෙන් තොරයි


(තිළිණි ද සිල්වා)

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ලබා දීමට රුසියාවෙන් ගෙන්වූ එන්නත්  2017 වසරේදී එරටින් අනුමත නොකරන ලද බෙහෙත් එන්නත් යැයි මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය ගිහාන් ගුණසේකර මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් අද  (07) පැවැසීය.

එහිදී ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දෙමින් විශේෂඥ වෛද්‍ය ගිහාන් ගුණසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ එසේ ගෙන්වා ඇති එන්නත මුල් අවස්ථාවේදී රෝගීන්ට එන්නත් කිරීමේදී හදිසි හෘදයාබාධ ඇති වී රෝගියා ජීවිතය අහිමි වීමට බොහෝ ඉඩකඩ තිබෙන බවය.

පිළිකා රෝගීන් සඳහා වන එන්නත් ප‍්‍රමිතියෙන් තොර හා වැඩි මිලකට රුසියාවෙන් ගෙන්වීමේ වංචා සිද්ධිය සම්බන්ධයෙන් වන පැමිණිල්ලේ වැඩිදුර විභාගය කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල පරීක්ෂණ මඩුල්ලක් හමුවේ පැවත්විණි.

එලෙස රුසියාව පවා අනුමත නොකළ එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වීමට අදළ බලධාරීන් කටයුතු කර ඇතැයි එම විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කොමිසම හමුවේ පැවසීය.

විශේෂඥ වෛද්‍ය ගිහාන් ගුණසේකර මහතා සාක්කි දෙමින් මෙසේද කීය.

පිළිකා රෝගීන් සඳහා 2017 වසරේදී රුසියාවෙන් අනුමත නොකළ බෙහෙත් එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු කර තිබෙනවා.රුසියාවේ නිෂ්පාදිත අදාළ එන්නත රුසියාවේ පවා අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිත වූයේ 2017 මාර්තු මාසයේදීයි.එසේ වුවත් ශ්‍රී ලංකාවට එය පෙබරවාරි මාසය තුළඳීම ගෙන්වීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළා.

මෙම බෙහෙත ගෙන්වීම සඳහා පැවති තාක්ෂණික කමිටුවේදී විශේෂඥ වෛද්‍යවරයෙකු වූ ප‍්‍රසාද් අබේසිංහ මහතා ඊට තදින්ම විරුද්ධ වී තිබෙනවා.ඔහු ඊට එකඟ නොවන බවට ලිඛිත සටහනක් පවා තබා තිබෙනවා.

මෙයාකාරයෙන් ගෙන්වා ඇති එන්නත් මුල් අවස්ථාවේදී රෝගීන්ට එන්නත් කිරීමේදී හදිසි හෘදයාබාධ ඇති වීමේ අවදනාමක් පවතිනවා.එලෙස හෘදයාබාධ ඇති වී රෝගියාගේ ජීවිතය අහිමිවීමට බොහෝ සෙයින්ම ඉඩකඩ පවතින්නේ යැයිද විශේෂඥ වෛද්‍ය ගිහාන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙම පැමිණිල්ලේ වැඩිදුර සාක්කි ලබා ගැනීම පසුවට කල් තැබීමට ජනාධිපති පරීක්ෂණ කොමිසම තීන්දු කරන ලදී.