තරිඳු ජයවර්ධන
සයිටම් ආයතනය ජනසතු කරන ලෙස බල කරමින් ගුරු විදුහල්පති ඒකාබද්ධ වැඩ වර්ජනය පැවැති පසුගිය පස් වැනි දා සේවයට වාර්තා නොකළ ගුරුවරුන් ගැන සොයා බැලීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි.
වැඩ වර්ජනය දා ගුරුවරුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක නොතිබු ජාතික පාසල් රැසක විදුහල්පතිවරුන්ගෙන් කරුණු විමසා අධ්‍යාපන අමාත්‍යංශයෙන් ලිපි යවා තිබේ.
ජාතික පාසල් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයන්ත වික්‍රමනායක මහතාගේ අත්සනින් යොමු කර ඇති එම ලිපියේ සඳහන් කර ඇත්තේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය නොපැමිණීමෙන් එදින පාසලේ අධ්‍යාපන කටයුතුවලට බාධා වූ බවට දෙමාපියන් තමන්ට පැමිණිලි කර ඇති බවයි.
එදින ගුරුවරුන් සේවයට නොපැමිණීමට හේතු සෙවීම සඳහා මෙලෙස ලිපියක් යොමු කළ බවත්, ඒ අනුව මේ වන විට තොරතුරු ලැබෙමින් පවතින බවත් මේ ගැන කළ විමසීමකදී ජාතික පාසල් අධ්‍යක්ෂ ජයන්ත වික්‍රමනායක මහතා පැවසීය.
තොරතුරු විමසන්නේ ගුරුවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටදැයි කළ විමසීමක දී ඒ මහතා කීවේ තවම එවැනි තීරණයක් ගෙන නොමැති බවයි. ගුරුවරුන් අඩු නිසා සිසුන්ගේ අධ්‍යාපනයට බාධාවූ බවට පැමිණිලි ලැබුණු නිසා මෙලෙස තොරතුරු රැස්කරන බව ද ඔහු කීවේය.

