වැඩ තහනම් කළ පොලිස් අධිකාරී යළි සේවයට


(තරිඳු ජයවර්ධන)
පොලිස්පතිවරයා විසින් මීට වසරකට පෙර වැඩ තහනම් කරනු ලැබූ නුගේගොඩ හිටපු පොලිස් අධිකාරී එච් එම් ඒ ප්‍රියදර්ශන හේරත් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත සේවයේ පිහිටුවන ලෙස පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාට දැනුම් දුන් බව එහි ආරංචි මාර්ග කියයි.

පොලිස් අධිකාරීවරයා නැවත සේවයේ පිහිටුවීමෙන් පසු කොළඹ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට අනියුක්ත කිරීමට ද පොලිස් කොමිෂන් සභාව සහ පොලිස්පතිවරයා එකඟවී තිබේ.

පොලිස් කොමිෂන් සභාව මෙම තීරණය ගත්තේ වැඩ තහනම් කරනු ලැබූ පොලිස් අධිකාරීවරයාගේ අභියාචනයක් සැලකිල්ලට ගනිමිනි.
පැමිණිලි කාරියකට විශේෂ වරප්‍රසාද ලබා දුන්නේයැයි කියමින් බත්තරමුල්ල වික්‍රමසිංහපුර පදිංචිකරුවකු කළ පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් පැවැත්වූ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස 2017 පෙබරවාරි මස 17 වැනි දා පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියකට යටත්ව පොලිස් අධිකාරීවරයාගේ වැඩ තහනම් කරනු ලැබ තිබේ. පොලිස්පතිවරයා වැඩ තහනම් කළ පසු පොලිස් කොමිෂන් සභාව ඊට අනුමැතිය ලබා දී ඇත.

එම පැමිණිල්ල දැමූ පුද්ගලයා යළි දිවුරුම් ප්‍රකාශයක් මගින් පැමිණිල්ල නිවැරදි කර ඇතැයි ද, එම ප්‍රකාශය යටපත් කර පෞද්ගලික කරුණු නිසා සත්‍ය කරුණු විකෘති කර විමර්ශනය සිදු කර ඇතැයි ද, වසර 28ක තම සේවා කාලයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජකාරි කරමින් හරිආකාරව යුක්තිය ඉටු කළ බව ද කියමින් එම පොලිස් අධිකාරීවරයා පොලිස් කොමිෂන් සභාවට දීර්ඝ අභියාචනයක් සිදු කර තිබිණි.

මෙම අභියාචනය සැලකිල්ලට ගෙන නිලධාරියාගේ වැඩ තහනම් කර වසරක් ගත වුවද විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට  කටයුතු කර නැති නිසා   පොලිස් අධිකාරීවරයා නැවත සේවයේ පිහිටුවීමට තීරණය කර ඇති පොලිස් කොමිෂන් සභාව ඒ බව නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්ට ලිඛිතව දැනුම් දී තිබේ.