අපරාධකරුවන්, දූෂිතයන්, වංචනිකයන්, කුඩු හා එතනෝල්කාරයින් පාර්ලිමේන්තුවට පත්කර බෝධිසත්ව පාලනයක් බලාපොරොත්තු විය නොහැකි නිසා මහ මැතිවරණයේ දී නිවැරදිම පුද්ගලයින් තෝරා යැවීමට ජනතාව ක‍්‍රියා කළ යුතුයැයි සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.
තමන් සිවිල් සංවිධාන හා එක්ව එක්සත් ජාතික පෙරමුණ සමග ගිවිසුමකට එළඹීමට තීරණය කළේ ද නව රජය ලවා රටට අවශ්‍ය දේ කරවා ගැනීමේ ලණුව අතේ තබා ගැනිමේ අරමුණින් යැයි උන්වහන්සේ සදහන් කළහ.
කෙසේ වුවත් රටේ අනාගතය යහපත් කිරීම සදහා සුදුස්සන් පාර්ලිමේන්තුවට යැවීමේ වගකීම තමන් අත තිබෙන බව ජනතාව අමතක කළහොත් එම අරමුණ ඉටු නොවන බව ද උන් වහන්සේ කීහ.
සෝභිත නා හිමි මේ බව පැවසුවේ කොළඹ 7, ගිල්ෆර්ඞ් ටෙරස්හි පිහිටි එක්සත් ජාතික පෙරමුණු මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඒ හිමියෝ මෙසේ ද කියා සිටියහ.
‘‘පාර්ලිමේන්තුව රටේ උත්තරීතර ආයතනයයි. රට පාලනය කරන, රටේ නීති හදන, රටට ප‍්‍රතිපත්ති සම්පාදනය කරන තැනයි. කුඩු කාරයින් එතනෝල් කාරයින් මෙතැනට ගැලපෙන්නේ නැහැ. එවැනි අය දූෂිතයන්, වංචනිකයන් පාර්ලිමේන්තුවට පත්කර බෝධිසත්ව පාලනයක් බලාපොරොත්තු වෙන්න එපා.
පසුගිය පාර්ලිමේන්තුවේ සිටි සමහර මන්ත‍්‍රීන් වසර පහටම ජනතාව වෙනුවෙන් වචනයක් කතා කර නැහැ. ඒත් ඔවුන් අපේ මුදලින් මොන තරම් වරප‍්‍රසාද ලබනවාද? වසර පහකින් ඔවුන් විශ‍්‍රාම වැටුපකටත් හිමිකම් කියනවා. ජනතාවගේ මුදල් මේ තරම් කන අය වචනයක්වත් කතා කරන්නේ නැත්නම් ඔවුන් පත් කරන්නේ මොකටද?
ඒ නිසා උගත්, බුද්ධිමත් , හැදියාවක් ඇති පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර යවන්නැයි මා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඇමතිවරු පත්කරන්නේ පාසල්වලට ළමයි දාගන්න නෙවෙයි. ඒ නිසා රට හදන්න සුදුස්සන් එයට පත් කළ යුතුයි. රටේ ආර්ථික සංවර්ධනය ඇති කළ හැකි අය පත් කළ යුතුයි.’’
පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරු ගාමිණී වියන්ගොඩ, ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ නීතීඥ ජේ.සී. වැලිඅමුණ යන මහත්වරු ද අදහස් දැක්වූහ.


