වැඩ අල්ලන නැකතින් පොතක් ලියන්න


සිංහල අලුත් අවුරුද්ද උදාවන හෙට (13 වැනිදා) රාත්‍රී 10.43 ට එළඹෙන අලුත් අවුරුදු වැඩ අල්ලන නැකතින් ඔබේ පැන්සල හෝ පෑන අතට අරගෙන රටක් වටින ඔබගේ, රටක් වටින කතාව, රටක් වටින පොතක් බවට පෙරලන්න යයි අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉල්ලා සිටී. අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහයෙවිමෙන්, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සංවිධානයෙන් දියත් කෙරෙන "අකුරු කරන නිවාඩුවෙන් - රටක් වටින පොතක්"  යන වැඩසටහනට අදළාව අධ්‍යාපන ඇමතියවරයා මෙම ඉල්ලීම කර සිටී.

“ශ්‍රී ලංකාවේ සිටින සියලුම පාසැල් දරු දැරියන්ට මා ආරාධනය කළා, රටක් වටින පොතක් ලියන්නට.  ඉතින් මේ අලුත් අවුරුද්දේ  නැකතට වැඩ ඇල්ලීමේ උතුම් ප්‍රාර්ථනාවක් සිත දල්වා ගෙන, දීප්තිමත් අනාගතයක මතු බලාපොරොත්තු පෙරදැරි කරගෙන, ඒ රටක් වටින පොතක් ලිවීමේ වීර පාරමිතාවට මුල පුරන්න කියා පියකු ලෙස මම ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි“ යයිද ඇමතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.


“අලුත් අවුරුද්දක් උදාවෙනවා කියන්නෙ, ජීවිතය අලුතෙන් පටන් ගන්නටත් අවස්ථාවක් උදා වෙනවා කියන එකයි. සිංහල දමිළ අලුත් අවුරුද්දේ වැදගත් ම සංස්කෘතිකාංගයක් තමයි නැකත් චාරිත්‍ර. නැකතට වැඩ ඇල්ලීම ඒ අතුරින් සිසු දරු ඔබ සැමට ඉතා වැදගත්“

“මනුෂ්‍යත්වයේ අසිරිමත්භාවය කියන්නේ ඕනෑම, ජාතියක, ආගමක, සංස්කෘතියක යම් යහපත් ක්‍රියාකාරකම් භේදයකින් තොරව සැමරීමයි. එවැනි උතුම් මිනිස් ගුණාංගයක අවශ්‍යතාවය වෙනත් කිසි දිනකට වඩා වැඩියෙන් දැනෙන මොහොතක් මේ.“ යයිද ඇමතිවරයාගේ නිවේදනයේ සටහන් වේ.

අධ්‍යාපන, ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ සංකල්පයකට අනුව "අකුරු කරන නිවාඩුවෙන් - රටක් වටින පොතක්"  වැඩ සටහන ක්‍රියාත්මක වෙයි.