(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
භාණ්ඩ අනූ හතකට ලබන ජනවාරියේ සිට සියයට දහඅටක වැට් බදු අය කිරීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත (වැට්) පාර්ලිමේන්තුවේදී අද (11) පස්වරුවේ වැඩි ඡන්ද 45 කින් සංශෝධන සහිතව සම්මතවිය.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 55ක් පමණි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක්, එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේවර්ධන සහ සමග ජන බලවේගයේ සිට ආණ්ඩුවට එක් වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරු
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, නිදහස් ජනතා සන්ධානය, දෙමළ ජාතික සන්ධානය යන පක්ෂවල මන්ත්‍රීවරු වෙති.
අනුර පියදර්ශන යාපා , ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, වඩුවෙල් සුරේෂ්,නිමල් ලාංසා සහ ප්‍රියංකර ජයරත්න යන මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහත්වරු පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඡන්දය විමසන අවස්ථාවේදී සභාගර්භයේ නොසිටියේය.
මෙම වැට් විවාදයේදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලා පිටිය මහතා පැවසුවේ වැට් බදු සංශෝධනයෙන් කෝටි 37800 ක ආදායමක් බලාපොරොත්තු වන බවයි.
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය දෙවෙනි දිනයටත් අද (11) පැවැත්විණ.
මෙම විවාදය සඳහා ඊයේ (10) ඉරුදින සම්පූර්ණයෙන්ම වෙන් කර තිබුණත් විපක්ෂයෙන් ඝණ පූර්ණය ප්‍රශ්නය මතු කිරීම හේතුවෙන්
පාර්ලිමේන්තුව කල් තැබීම නිසා විවාදය අතරමග නතර විය.
පනත් කෙටුම්පත පිළිබඳව ඊයේ කෙටි විවාදයකින් පසු සම්මත කිරීමට කටයුතු සූදානම් කෙරිණ. පනත තවදුරටත් විවාද කිරීමට අවශ්‍ය බව පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ දැඩි නොසන්සුන් තත්වයක් ඇති විය.
පනත් කෙටුම්පතේ යෝජනා අංක 6 සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී යෝජනා අංක 6 වැඩි ඡන්ද පනස් හතකින් සම්මත විය.
අංක 6ට පක්ෂව ඡන්ද අනුඅටක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 41කි.
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතේ අංක 7 සම්බන්ධයෙන් පැවැත්වුණු ඡන්ද විමසීමේදී එම අංක හත සම්මත විය.
පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 45කින් සම්මත විය.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද සීයක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 55ක් පමණි.

