(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනයේ 2018 වාර්ෂික සැසිවාරවල ආරම්භක සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (21) පැවැත්විණි.
පෙබරවාරි 10 වැනිදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධාන පෙළේ උත්සවයකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.
ආරම්භක සැසියේ දී ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ සංගමයේ නවක සාමාජිකයන් පිළිගැනීමේ අවස්ථාවට එක්වුවද අදහස් දැක්වීමකින් තොරව නික්ම ගියේය.
‘ජනතාව සහ ස්ථාන නියෝජනය කිරීමට වාස්තු විද්‍යාඥයන්’ යන තේමාව යටතේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතා අමුත්තා වූයේ ජනාධිපතිවරයා වූ අතර ගෞරවාන්විත අමුත්තා ලෙස මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතා සහභාගි විය.
ආරම්භක සැසිවාරයේ මුඛ්‍ය දේශනය ජාත්‍යන්තර වාස්තු විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති වාස්තු විද්‍යාඥ තෝමස් වෝනියර් මහතා විසින් සිදු කරන ලදි.
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනයට මේ වසරේදී වසර 60ක් සපිරෙන අතර වාර්ෂික සැසිවාරවලට සමගාමීව 36 වැනි වරට වාස්තු විද්‍යා හා වෙළෙඳ ප්‍රදර්ශනය ද ඊයේ (21) ආරම්භ විය.
ඊයේ ආරම්භ වූ වාස්තු විද්‍යා හා වෙළෙඳ ප්‍රදර්ශනය ලබන 25 වැනිදා දක්වා පැවැත්වෙන අතර එය වෙළෙඳ කුටි 300කින් සහ වාස්තු විද්‍යාඥයන්ගේ නිර්මාණ දැක්වෙන ඩිජිටල් පුවරු ඇතුළු ප්‍රදර්ශක 130කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විතය.
ආරම්භක සැසිවාරයට දෙස් විදෙස් වාස්තු විද්‍යාඥයන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.