වාස් ගුණවර්ධනට සහ පුතාට ගිනි අවි නඩුවෙන් ඇප


මනෝප‍්‍රිය ගුණසේකර 
 
නීතී විරෝධි අවි ගබඩාවක් තබා ගන්නා ලදැයි කියන සිද්ධියකට අදාළව රිමාන්ඩ් බාරයේ  සිටි කොළඹ උතුර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා ඇතුළු පස් දෙනෙකු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු  ලලිත් ඒකනායක  මහතා  අද  නියම කළේය.

 
මෙම සිද්ධියට අදාළව තම සේවාදායිකයින් දීර්ඝ කාලයක් පුරා රිමාන්ඩ් බාරයේ රඳවා සිටින බව කියමින් නීතීඥ විශ්ව ද ලිවේරා තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සළකා බලමින් සැකකරුවන් කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා රුපියල 10,000/- ක මුදල් හා රුපියල් ලක්‍ෂය බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකු සහිත ශරීර ඇප මත සැකකරුවන් මුදාහැරීමට නියම කළේය.
 
ඇප තැබීමෙන් අනතුරුව සතියට වරක් රහස් පොලිසිය හමුවේ පෙනී සිටීමේ ඇප කොන්දේසියක්ද පැනවීය.
 
කලගෙඩිහේන රනිස්වෙල ප‍්‍රදේශයේ නිවසක නීතී විරෝධී ගිනි අවි තොගයක් සහිත අවි ගබඩාවක් පවත්වාගෙන යන ලදැයි සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කොට සිටි කොළඹ උතුර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට අමතරව මෙලෙස ඇප නියම කරන ලද්දේ ඔහුගේ පුතා වන රවිඳු  වාස් ගුණවර්ධන, ගාමිණි සනත්චන්ද්‍ර, ප‍්‍රියන්ත සංජීව සහ ඉන්දික බමුණුසිංහ නමැති පොලිස් නිලධාරීන්ටය.
 
මෙම සිද්ධියට අදාළවම මීට පෙර අවස්ථාවකදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ බිරිද වන ශ්‍යාමලි ප‍්‍රියදර්ශණී පෙරේරා මහත්මියද අධිකරණය විසින් කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලදී.
 
තම සේවාදායකයින් මේ වින විට මොහොමඞ් සියාම් ඝාතන නඩුව සඳහා මරණ දඬුවම් නියම වී බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින බවත් ඔවුන් මේ සිද්ධියට අදාළව දීර්ඝ කාලයක් පුරා රිමාන්ඩ් බාරයේ රඳවනු ලැබ සිටින බවත් කී  නීතීඥ විශ්ව ද ලිවේරා තෙන්නකෝන් මහතා තම සේවාදායකයින්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
 
ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා සැකකරුවන්ට අදාල ඇප නියම කළේය.