ක.ග කරුණාරත්න
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතාට බැන තර්ජනය කර පහරදීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක වරයා ලබන සඳුදා(14) වනවිට පොලිසිය අත්අඩංගුවට නොගතහොත් ගොවීන් 10,000 ක් සමඟ පාරට බැස පොළොන්නරුවේදී විරෝධතාවක් දක්වන බව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ව්‍යාපාරය සංවිධාන වල සභාපතිවරු අද(12) ප්‍රකාශ කළහ.
පොලොන්නරුව නව නගරයේ පිහිටි පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර අධිකාරි කාර්යාලයේ අද (12) පැවැති මාධ්‍ය හමුවකදී ගොවි සංවිධාන සභාපතිවරු මේ බව කියා සිටියහ.
පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරුවරයාට බැණ තර්ජනය කර පහරදීමේ සිද්ධියට මුල්වී ක්‍රියා කළ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා සඳුදා (14) වනවිට අත්අඩංගුවට නොගතහොත් පොලොන්නරුවේ පමණක් නොව රටපුරා ගොවි සංවිධාන දීප ව්‍යාප්ත විරෝධතාවයකට සූදානමින් සිටින බව කීය.
පරාක්‍රම සමුද්‍රය, ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, ඇලහැර යන ව්‍යාපාර ගොවි සංවිධානවල සභාපති වරු සහ ගොවි සංවිධානවල නියෝජිතවරු මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.