(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වාද්දූව ආයුර්වේද හන්දියේ අද (10) පෞද්ගලික බස් රථයක් ගසක අත්තක සහ වාහන දෙකක ගැටී නිවසක් තුළට කඩා වැදීමෙන් නිවසේ හිමියා ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා ඇතැයි වාද්දුව පොලිසිය කියයි.
මතුගම සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු බස් රථය ගාලු ප්‍රධාන මාර්ගයේ ආයුර්වේද හන්දිය ආසන්නයේ ගසක අත්තක වැදී වේගය පාලනය කර ගත නොහැකිව පානදුර සිට කලුතර බලා ධාවනය වෙමින් තිබු වෑන් රථයේ සහ එම දිශාවටම ධාවනය වෙමින් තිබු ලොරියක ඉදිරිපස වැදීමෙන් වෙළඳසැලක් පවත්වාගෙන යන නිවසකට කඩා වැදී ඇති බව පොලිසිය සිදුකර මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
අනතුර සිදු වු අවස්ථාවේදී මගීන් පහකට ආසන්න ප්‍රමාණයක් බස් රථය තුළ සිටි ඇති අතර රියදුරු ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබා ගනිමින් බස් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සිදුවු අනතුරින් තුවාල ලද තිදෙනා පානදුර මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර රියදුරාගේ දත් හතරක් කැඩී තුවාල සිදුවී ඇති බව පානදුර මුලික රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.
තුවාල ලැබු පිරිස අතර බස් රථයේ රියදුරු කොන්දොස්තර සහ කාන්තාවක් සිට තිබේ. අනතුරට පත් බස් රියදුරාගේ ජංගම දුරකතනය පොලිසිය බාරයට ගෙන ඇත.