ව්‍යාවස්ථා සභා නම් තුනට අද අනුමැතිය නොලැබේ


19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යටතේ පත් කරන ව්‍යවස්ථා සභාවේ සිවිල් පුද්ගලයන්ගේ ලිඛිත කැමැත්ත ලබන 9 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රනිල් වික්‍රමසිංහ අගමැති අද (3) ප්‍රකාශ කළේය.

පක්ෂ නායක රැස්වීම සඳහා කල් තැබුණු පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීම පෙරවරු 10.20ට රැස්වන බව පවසා කල් තැබුවත් යළි රැස්වූයේ පස්වරු 1ටය.

පාර්ලිමේන්තුව අද  පස්වරු 1ට යළි රැස්වී මිනිත්තුවක්වත් ගත වන්නට පෙර ලබන 9 වැනිදා තෙක් යළි කල් තැබිණි.

අද විශේෂ රැස්වීම කැඳවූයේ ව්‍යවස්ථා සභාවට පත් කරන රාජිකා කුමාරස්වාමි, ඒ.ටී.ආරියරත්න හා ඒ.ඩබ්ලිව්.ඒ.සලාම් මහත්වරුන්ගේ නම්වලට අනුමැතිය ලබාගැනීම සඳහාය.

එහෙත් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ගැන මතු කළ ප්‍රශ්නයෙන් පසු සභාව වෙනතකට ගමන් කළේය.

ඔහුගේ ප්‍රශ්නයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දීර්ඝ පිළිතුරක් දුන්නේය.