ව්‍යාපාරිකයා පැහැරගෙන කප්පම් ඉල්ලූ තිදෙනෙක් අත්අඩංගුවට


(සිතුම් චතුරංග) 

යුකේ‍්‍රනයේ සිට ඥාතීන් බැලීම සඳහා වවුනියාව වෙත පැමිණි ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් ලක්ෂ 15 කප්පම් මුදලක් ලබාගැනීමට තැත්කළ පුද්ගලයින් තිදෙනක් අද (27) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.

පසුගිය 17 වැනිදා යුකේ‍්‍රනයේ සිට පැමිණ වවුනියාව නගරය වෙත ගිය තිරවියම් අරුන්දති රාසා (47) නැමැත්තා අතුරුදන්ව ඇති බවට ඔහුගේ සහෝදරයකු විසින් පොලිස් අපරාධ විමර්ශන ඒකකය වෙත ලැබුණ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.

ව්‍යාපාරිකයා නගරයට පැමිණෙමින් සිටියදී ත‍්‍රිරෝද රථයකින් පැමිණි සැකකරුවන් තිදෙනා පැහැරගෙනගොස් පලෙයි ප‍්‍රදේශයේ නිවසක  රඳවාගෙන සිට ඇත.

මුදල් ලබාදීමට ව්‍යාපාරිකයාගේ ඥාතීන් ප‍්‍රමාද කිරීම හේතුවෙන් නිදහස්වු පසු රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාදෙන බවට ව්‍යාපාරිකයාගේ අත්සන් සහිත ලිපියක් ලබාගැනීමෙන් අනතුරුව කිලිනොච්චිය ප‍්‍රදේශයේදී ව්‍යාපාරිකයා නිදහස් කොට තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් වවුනියාව සහ පලෙයි ප‍්‍රදේශයේ පදිංචි 27 ත් 45 අතර වයසේ පසුවන්නෝ වෙති.