
(අජිත්ලාල් ශාන්ත උදය)
රුපියල් ලක්ෂ හැටකට අසන්න මුදලකට ව්‍යාජ ලේඛන සකසා, කෑලි අමුණන ලද වාහනයක් විකුණන ලද සැකකරුවෙක් හලාවත මාදම්පේ ප්‍රදේශයේ දී රත්නපුර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු මාදම්පේ, ගල්මෝරුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ඔහු කාන්තාවක් ඇතුලු කිහිප දෙනෙක් සමග මාදම්පේ ප්‍රදේශයේ වාහන අලෙවිසැලක් පවත්වාගෙන යන කෙනෙක් බව පොලීසිය කීවේය .
පානදුර ,කෙසෙල්වත්ත ප්‍රදේශයේ කෙනෙකුට බළන්ගොඩ පොලිස් වසමේදී රුපියල් පස්නව ලක්ෂ දහදාහකට මෝටර් රථයක් විකුණා ඇත.
මෝටර් රථයේ පොත ද එය විකුණන අවස්තාවේ මිලදී ගත් තැනැත්තාට විකුණුම්කරු විසින් ලබාදී තිබුණි. එහෙත් නව අයිතිකරු එහි අයිතිය පවරා ගැනීමට කටයුතු කිරීමේදී දැනගන්නට ලැබී තිබුණේ එම
අංකයට ගම්පහ ප්‍රදේශයේ කාන්තාවකගේ නමට මෝටර් රථයක් ලියාපදිංචි කරඇති බවයි .
ලියාපදිංචි කිරීමට ඉදිරිපත් කළ ලේඛන ව්‍යාජ ඒවා බව දැනගැනීමෙන් පසු මිලදී ගත් තැනත්තා රත්නපුර පොලීසියේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි කර තිබුණි. එම ඒකකය විසින් උපක්‍රමශීලීව කළ විමර්ශනයකින් පසු මාදම්පෙ පොලීසියේ ද සහායෙන් සැකකරු අඩංගුවට ගෙනතිබුණි.

