ව්‍යාජ ලේඛන සැකසුවැයි ග්‍රාම නිලධාරී අල්ලයි


(කේෂර ගුණතිලක)

බඩල්කුඹුර මොනරාගල පාර 11 කණුව අසල පදිංචි කාන්තාවකට අයත් ඉඩමක දැව හෙළීම සඳහා ඇයගේ අත්සන ව්‍යාජ ලෙස යෙදූ අත්සන සහතික කර කූඨ ලේඛන සකස්කිරීම සම්බන්ධයෙන් බඩල්කුඹුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයෙක් ඊයේ සවස මොනරාගල කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

2017 වසරේ පැමිණිලිකාරිය ප්‍රදේශයෙන් බැහැරව සිටියදී දැව ජාවාරම්කරු විසින් දැව හෙළීම සඳහා අවසර ලබා ගැනීමට දුන් ලිපියේ යොදා ඇති ව්‍යාජ අත්සන ග්‍රාම නිලධාරීවරයා මෙලෙස සහතික කර ඇතැයි මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

පසුව දැව ජාවාරම්කරු ඇය නොසිටි අවස්ථාවේ ඉඩමේ ගස් කපා අලෙවි කර ඇත.

අනතුරුව ඉඩමේ හිමිකාරිය විසින් ඒ පිළිබඳව බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් වරයාටත් බඩල්කුඹුර පොලීසියටත් පැමිණිලි කර තිබුණත් දේශපාලන බලපෑම් මත පරීක්ෂණයක් සිදුවී සිදුව නැතැයි මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

සිද්ධිය පිළිබඳව වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට පැමිණිලි කිරීමෙන් අනතුරුව මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අදාළ ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.