ව්‍යාජ ඩොලර් මුද්‍රණය කරන කඩදාසි මිටි 25 ක් සොයාගනී


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

උණ්ඩියල් ක්‍රමයට මුදල් ඩුබායි රටට බැර කිරීමේ යෙදුණු 11 දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. අත්අඩංගුවට පත් වූවන් අතර නයිජීරියානු ජාතිකයන් සිව්දෙනෙකු, බෙලරූස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු, ශ්‍රී ලාංකික කාන්තාවක හා පිරිමි සිව් දෙනෙකු ඒ අතර වන බව පොලිසිය කියයි.

එම සැකකරුවන් සමඟ රුපියල් කෝටියකට ආසන්න මුදල්, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 25 ක්, ව්‍යාජ ඩොලර් නෝට්ටු  මුද්‍රණය කිරීමට යොදා ගන්නා කඩදාසි 100 මිටි 25 ක් පොලිසිය බාරයට ගෙන ඇත.

සැකකරුවන් විසින් එම ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් ලබා ගන්නා පුද්ගලයකු පිළිබඳ තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව දෙහිවල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවස පරික්ෂා කිරීමේදී එහි තිබී ජාවාරම් වලින් උපයා ගන්නා ලද රුපියල් 5,43,000 ක මුදලක් සොයා ගැනීමට හැකි වූ බවද පොලිස් නිලධාරියෙක් පැවැසීය.