ව්‍යවස්ථාව ගැන අදහස් ගන්න සර්ව පාක්ෂික සමුළුවක්


(විනීතා එම් ගමගේ)

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල කමිටුවේ අතුරු වාර්තාවේ ඇති යෝජනා පිළිබඳ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නායකයින් ගේ සමුළුවක් කැඳවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම එම යෝජනා පිළිබඳව අදහස් දැක්වීම සඳහා සර්ව ආගමික නායක සමුළුවක් දෙවනුව කැඳවන බවත් , අනතුරුව ව්‍යවස්ථාව පිළිබඳව උනන්දුවක් දක්වන උගතුන් හා බුද්ධිමතුන් ගේ සමුළුවක් කැඳවන බවත් ජනාධිපතිවරයා පැවැසීය.

ව්‍යවස්ථාව ගැන දැනට පවතින ගැටලු බොහොමයකට එහිදී විසඳුම් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු  වන බව ද ජනපති කීවේය.

ඉතිහාසයෙන් පාඩම් උගෙන දියුණු තාක්ෂණය සමඟ එකම ලෝකයක් සමඟ එකට බැඳුණු ජනතාවක් සේ රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයමු යැයි සියලු දෙනාට ආරාධනා කරන බවද  සිරිසේන මහතා තවදුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, ජාතික සහජීවන සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍යංශය මඟින් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී  අද(30) පස්වරැවේ පවත්වනු ලැබූ ජාතික මහා සමුළුව අමතමිනි.