ව්‍යවස්ථා සංශෝධනයට නොව රටේ ප‍්‍රශ්න විසඳීමට ප‍්‍රමුඛත්වය දිය යුතුයි


(නාලක සංජීව දිසානායක,ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

මේ අවස්ථාවේදී ප‍්‍රමුඛස්ථානය දිය යුත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට නොව රට හමුවේ ඇති ප‍්‍රශ්න විසඳීමට යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය කියා සිටී.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ නම් පවතින ව්‍යවස්ථාවේ මූලික හරයන්ට බාධාවක් නොවිය යුතු බවද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව තීරණය කර ඇත.ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව නාපාන පෙමසිරි මහනාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් නාරාහේන්පිට රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානයේදී ඊයේ (07) උදේ රැස්වී මෙම තීරණය ගත් බව එම නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය  ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවැසූහ.

රටක පාලනය සාර්ථක කර ගැනීමට නම් පාලකයින් රටේ ප‍්‍රමුඛතා හඳුනාගත යුතුයැයිද  ඕමල්පේ සෝභිත හිමියෝ නාරාහේන්පිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානයේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළහ.

මෙය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අත්‍යාවශ්‍යම අවස්ථාවක් නොවන බව රාමඤ්ඤ නිකායේ මතයවන බවද උන්වහන්සේ පැවැසූහ. එහිදී උන්වහන්සේ මෙසේ ද කීහ. මේ මොහොතේදී රටේ ප‍්‍රමුඛ අවශ්‍යතා රාශියක් තිබෙනවා. ඒ ප‍්‍රමුඛතා ඉටු කිරීම සඳහා 2015 වසරේදී මහා පෙරළියක් සිදුවුණා. ඒ සඳහා ප‍්‍රමුඛතාවය නොදීමෙන් වෙනත් අර්බුද ඇතිවෙනවා. රටේ ආර්ථිකය විනාශ වන ආකාරයේ වංචා හා දුෂණ පිටුදැකීමේ දැඩි අවශ්‍යතාවක් තිබෙනවා. ඒ කාර්ය ඉටුකිරීමේදී රජය දක්ෂතාවයක් දක්වා නැහැ. ව්‍යවස්ථා සංශෝධනයකට අත තැබිය යුත්තේ රටේ අනෙක් ප‍්‍රශ්න විසඳාගත් පසුවයි. එම ප‍්‍රශ්න විසඳා ගෙන රටේ ආර්ථික හා සමාජීය තත්ත්වය ස්ථාවර කිරීමට ක‍්‍රියා කළ යුතුයි.

ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් යම් වැඩපිළිවෙළක් තිබේ නම් එහිදී කරුණු දෙකක් සම්බන්ධයෙන් ප‍්‍රමුඛතාව දිය යුතු යැයි අප අදහස් කරනවා. එනම් වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි පරිච්ඡේදයේ නව වැනි වගන්තියේ සඳහන් වන බුද්ධාගම ආරක්ෂා කොට පෝෂණය කිරීමේ වගකීම ශ්‍රී ලංකා ජනරජය දැරිය යුතුය යන්න එයින් පළමුවැනි කාරණයයි.

නමුත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඊට අලූත් කොටස් එකතු කරලා වෙනත් විවරණ දීම උත්සාහය සැකයට භාජනය වෙනවා. දැනට ක‍්‍රියාත්මක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප‍්‍රමුඛතාව දෙන බවට සඳහන් වුණත් ප‍්‍රමුඛතාවය ලැබී නැහැ. බුද්ධාගම පෝෂණය කිරීමේ වගකීමෙන් රාජ්‍ය තන්ත‍්‍රය මග හැර තිබෙනවා. ඒ නිසා බෞද්ධයන් වෙනත් ආගම්වලට හැරවීමේ ප‍්‍රශ්න ඔඩුදුවමින් තිබෙනවා. ඒ නිසා 9 වැනි වගන්තියේ සඳහන් බලතල වැඩිපුර දිය යුතුයි. එසේ බැරි නම් දැනට ක‍්‍රියාත්මක දේවල් ටිකවත් තිබිය යුතුයි.

එමෙන්ම රටේ ඒකීය බව සුරක්ෂිත විය යුතුයි. බෙදුම්වාදයෙන් දෙමළ ජනතාවගේ හෝ වෙනත් කිසිම ජනවර්ගයක ප‍්‍රශ්න විසඳන්න බැරි බව අපි විශ්වාස කරනවා. 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් උතුරු පළාත් සභාවට තවදුරටත් වරප‍්‍රසාද දීමෙන් ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න බැහැ. මේ රටේ සමස්ත ජනතාවගේත් සියයට 32 පමණක් උතුරු පළාතේ ජීවත් වෙනවා.

සියයට 60 වැඩි ප‍්‍රමාණයක් ජීවත්වන්නේ වෙනත් ප‍්‍රදේශවලයි. ඒ නිසා උතුරු පළාතට වෙනම පාලන බලයක් දීමෙන් ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රශ්න විසඳෙන්නේ නැහැ. ද්‍රවිඩ ජනාතවට සුවිශේෂී ප‍්‍රශ්නයක් තිබෙන බවක් අපි විශ්වාස කරන්නේ නැහැ. ආර්ථික, සමාජීය, දේශපාලනික වශයෙන් අපි හැමදෙනාටම තිබෙන්නේ එකම ප‍්‍රශ්නයක්. බලය බෙදීම සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට තිබෙන බලතල වෙනස් කිරීමෙන් වෙනත් රාජ්‍යයක් බිහිවීමේ අනතුරක් අපි දකිනවා.

ඒ නිසා ව්‍යවස්ථා සංශෝධනයකදී ජනාධිපතිවරයාට තිබෙන බලතල යම් සීමාවකට තිබිය යුතුයි. සීමාව ඉක්මවා ජනාධිපති බලතල කප්පාදු කිරීමෙන් බෙදුම්වාදීන්ගේ අරමුණු ඉටුවෙනවා. මේ අවස්ථාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට අත්‍යාවශ්‍යම වෙලාවක් නොවෙයි. රටේ ඇතිවී තිබෙන ප‍්‍රමුඛතාවයන්ට ප‍්‍රමුඛතාවය දී ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා නම් පවත්නා ව්‍යවස්ථාවේ මූලික හරයන්ට බාධාවක් නොවිය යුතුයි.  ඕමල්පේ සෝභිත නාහිමියෝ ප‍්‍රකාශ කළහ.