ව්‍යපාරිකයන්ගේ බැංකු අයිරා පොලිය අඩු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි


(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)

ව්‍යාපාරිකයන් බැංකුවලින් ගත් ජංගම ගිණුම් ණය අයිරා පොලිය ද අඩුකර සහන සලසා දෙන මෙන් රත්නපුර දිස්ත‍්‍රික් සහල් නිෂ්පාදකයන්ගේ සමුපකාර සමිතිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.

පසුගිය සහල් හිගය පැවති කාලයේ රජයේ ඉල්ලීම මත සහල් මෝල් හිමියන්  ඇතුළු තම සංගමයට අයත් ව්‍යාපාරික ප‍්‍රජාව මෙන්ම රටේ සමස්ත ව්‍යාපාරිකයන් ද බොහෝ අවස්ථාවල බැංකු අයිරාවන් ලබා ගත් බවත් කීවේය.

ව්‍යාපාර පවත්වාගෙන යාමේදි  හදිසි අවශ්‍යතා මත ලබාගන්නා බැංකු අයිරා කලට වෙලාවට පියවා ව්‍යාපරවල නිරතවීම සිරිත බවද රත්නපුර දිස්ත‍්‍රික් සහල් නිෂ්පාදකයන්ගේ සමුපකාර සමිතියේ ලේකම් එස්.ජී.ගුණදාස මහතා පැවසීය.

නමුත් මේ පවතින වාතාවරණය මත මුදල් සංසරණයක් නොවීමත් ණය පදනම මත ලබාදුන් භාණ්ඩ සදහා මුදල් ලැබීමේ ප‍්‍රමාදයක් පවතින බැවින් බැංකු අයිරා පියවීමේදී ව්‍යාපාරිකයන් ගැටලූ රැසකට මුහුණ දෙන බව ලේකම්වරයා පැවසීය.

එබැවින් ණය සදහා ගෙවන වාරික ගෙවීමට සහන කාලයක් දුන්නා සේ බැංකු අයිරා වලදි අයකරන පොලිය අඩුකර සහනයක් ලබාදෙන මෙන් ඉල්ලා ජනාධිපතිවරයාට ෆැක්ස් පණිවිඩයක් යැවිමට තීරණය කළ බව රත්නපුර දිස්ත‍්‍රික් සහල් නිෂ්පාදකයන්ගේ සමුපකාර සමිතියේ ලේකම් එස්.ජී.ගුණදාස මහතා සදහන් කළේය.