වස් සමය ඇරඹෙයි


(ඩයනා උදයංගනී)

‍ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය යෙදුණු අද (23) දිනයේදී දිවයින පුරා විහාරස්ථානවල චාරිත්‍රානුකූලව පෙරවස් සමාදන්වීමේ පිංකම් පැවැත්විණි.

භික්ෂූන් වහන්සේලා වස් විසීමේ උතුම් චාරිත්‍රය ආරම්භ වූයේ ‍මෙයට වසර 2,600කටත් පෙරදීය.

වස්සාන සමයේදී භික්ෂූන් වහන්සේලා ලා තණපත් පාගමින් ඒවා විනාශ කරමින් චාරිකාවේ හැසිරීම පරිසරයට හානිකර විනය විරෝධී ක්‍රියාවක් බවට සමාජයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් එදවස බුදුන් වහන්සේ ''මහණෙනි, වස්සාන ඍතුවෙහි වස් එළැඹ එක් තැනක රැඳී සිටීම අනු දනිමි" (අනුජානමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තු) යි වස්වසූපනායික ශික්ෂා පදය නම් වූ විනය නීතිය පැනවූ බව මහාවග්ග පාලියෙහි වස්සූප නායික ඛන්ධක‍යෙහි සඳහන් වේ.

මෙම විනය ප්‍රඥප්තියට අනුව උපසම්පදා භික්ෂූන් වහන්සේලා අනිවාර්යයෙන්ම මෙම වස් ශික්ෂා පදය සමාදන් විය යුතුය.

එමෙන්ම ලබන ඔක්තෝබර් 20 වැනිදාට යෙදෙන වප්පුර පසළොස්වක පොහෝ දිනයේදී පෙර වස් පොහොය කොට කථින චීවර පූජා ආරම්භ වන අතර ඉල් පුර පසළොස්වක පොහොය යෙදෙන නොවැම්බර් 18 වැනිදා දක්වා කථින චීවර පූජා පිංකම් පැවැත්වේ.

(ඡායාරූප: ලාල් එස් කුමාර)

 කැලණිය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සන්ඝරක්ඛිත නාහිමියන් ඇතුලු  භික්ෂූන් වවහන්සේලා ට වැසි සළු  පිලිගනවා වස් ආරාධනය කල අයුරු