වසර 50කට පසු හිමි නමක් පෝරකේට


දහ නම හැවිරිදි ගොවියකු පිහියෙන් ඇන ඝාතනය කළ හිමි නමකට සහ ඔහුගේ මාමාට තංගල්ල මාහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්ෂ මහතා ඊයේ (21) මරණීය දණ්ඩනය නියම කළේය. 1962 ජූලි 07 වැනිදා එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ඝාතනයේ තල්දූවේ සෝමාරාමට මරණ දඬුවම නියම කිරීමෙන් පසුව භික්ෂුවක මරණ දඬුවමට ලක්වූ මුල් අවස්ථාව මෙය බව මහාධිකරණ විනිසුරුවරයා පැවැසීය. මරණ දඬුවම නියම වූයේ කටුවන අඹගස්ආර පංසලේ ගොමඩියේ සරණ හිමිට හා ගොමඩියේ කරිවිල කන්දගේ විජේසිරි යන දෙදෙනාටය. ගොමඩියේ සරණ මහාධිකරණයේ සාක්කි දෙමින් කියා සිටියේ තමාට හරි හැටි අකුරු ලිවීමට හෝ කියැවීමට බැරි බවයි. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු රාජපක්ෂ මහතා පැවසූයේ කිසිවක් නොදන්නා මෙවැනි අය පැවිදි කිරීමෙන් සාසනයට හානියක් මිස යහපතක් නොවන බවයි. එම නිසා මෙම නඩු තීන්දුවේ පිටපත් සියලුම මහානායක හිමිවරුනට යවන ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා ලේඛකාධිකාරීට නියෝග ක‍ළේය. ගොමඩියේ සරණ ගිහි කාලයේදී මේ අපරාධය කර ඇති බවත්, ඔහු එකළ මහකුඹුරගේ ජයතිස්ස හෙවත් හීන් පුතා යන නමින් හැඳින්වුණු බවත්, කටුවන උඩගොමඩියේ වැලෑනගොඩ පදිංචි වී සිටි බවත් නඩුවේදී කියැවිණි. කටුවන උඩගමඩියේ මැද කන්දේ පදිංචිව සිටි මහකුඹුරගේ ධර්මදාස (19) වසර 12 කට පෙර කටුවනදී මරා දැමීයැයි විත්තිකරුවෝ වැරදි කරුවෝ වූහ. මරණකරුගේ නැඟනියක සමග ගොමඩියේ සරණ ගිහි කාලයේදී ඇති කර ගත් ප්‍රේම සම්බන්ධය මේ ඝාතනයට හේතුවීයැයි නඩුවේදී සඳහන් විය.