වසර 25ක් කරාපිටිය රෝහල නිවස කරගත් විමල සේන සීයා බෙන්තොට ‘සුගත‘ වැඩිහිටි නිවාසයට


 (ජේ.කේ.එල් චාමින්ද)


වසර විසිපහක් තිස්සේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල සිය නිවහන කරගනිමින්  දිවිගෙවු  එන් එන් විමලසේන (78) සීයා  අද (18)  රෝහලට සමුදෙමින්  බෙන්තොට සුගත වැඩිහිටි නිවාසය වෙත රැගෙන යාමට කටයුතු කරණු ලැබිය. 


 විමලසේන සීයා  රෝහලේ ගෙවන ජිවිතය පිළිබද  මුල්වරට ලංකාදිප පුවත්පත  අප්‍රේල් මස 18වැනි දින අනාවරණය  කළේය.


එම අනාවරණයයෙන් පසු දකුණු පළාත් සමාජ සුභසාධන පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස්  මහේෂ් කරුණානයක මහතාගේ උපදෙස්මත විමලසේ සියා බෙන්තොට සුගත වැඩිහිටි නිවාසය වෙත රැගෙන යාමට  අද (18) කටයුතු කළේය.


පාදයේ තුවාලයකට ප්‍රථිකාර ගැනිම සදහා  විමලසේන සීයා  මීට අවුරුදු 25 කට පෙර  රෝහල්ගතව ඇති අතර  තුවාලය සුව වුවද විමලසේන සියා රෝහලින් පිටව   නොගිය බව රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.


හෙද නිලධාරි  එච් ජි ප්‍රේමදාස මහතා   විමලසේන සියා ගැන මේසේ කිවේය


 ‘ මම පහේ වාට්ටුවේ වසර  18ක් විතර සේවය කළා. අපි මේ වාට්ටුවට එන විටත් මේ සීයා පහේ වාට්ටුවේ හිටියා. සීයාගේ පාදයක තුවාලයක් තිබුණා. ඔහු වාට්ටුවෙන් යන්න උත්සාහ කළෙත් නැහැ. යන්න කැමතිත් නැහැ. වාට්ටුව අතු පතු ගා ගෙන හිටියා.  මොරටුවේ  ලිපිනයක් තමයි තිබුණේ. කවදාවත් මේ සියා ඥාතින් ගැන කියන්නේ නැහැ. මොරටුව පැත්තේ පන්සලක හිටියත් කියලා කියනවා. බණ පිරිත් හොදට දන්නවා.


අපි හිතුවේ මහණවෙලා හරි ඉන්න ඇති කියලා. බලපිටිය රෝහලින් තමයි කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කරලා තියෙන්නේ  මගේ මතකයේ හැටියට 93 වසරේ ඉදලා මේ සියා කරාපිටිය රෝහලේ සිටි බවද ප්‍රේමදාස මහතා කිවේය.‘


පහේ වාට්ටුවේ ප්‍රධාන හෙදි නිලධාරි එන් ජි නානායක්කාර මහතා විමලසේන සියා ගැන අපට කිවේ මෙවැනි කථාවකි.


මම මේ  වාට්ටුවට ඇවිත්  දැනට වසර අටක් වෙනවා. මම හෙදි සිසුවෙක් ලෙස ඉගෙන ගන්න කාලයෙත් මේ සීයා කොට කලිසමක් ඇදගෙන මේ වාට්ටුවේ ඉන්නවා මට හොදට මතකයි. ඇත්තටම විමලසේන සීයා කාටවත් කරදරයක් නැහැ.


වේලාවට කෑම ටික දෙන්න ඕන.  සීයා වැඩිය කථා කරන්නේ නැහැ. සීයාට වාට්ටුවට එන අයත් උදව් කරනවා.  මේ සියා ගැන සමාජසේවා නිලධාරිතුමාටත් දැන්වුවා. නමුත් සීයා මේ වාට්ටුව දමලා යන්න කැමැති නැහැ. නිත්‍යනුකුල පැත්ත කුමක් වුවත් මේ සියා අපට  වාට්ටුවෙන් එළියට දමන්න බැහැ. මෙය මානුෂික ප්‍රශ්නයක්. විමලසේන සියාට හොදක් වෙනවානම් අපි කැමතියි. නානායක්කාර මහතා කිවේය.‍


 රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගේ මැදිහත්විමෙන් හා කරාපිටිය ශික්ෂණ රෝහලේ සමාජ සංවර්ධන නිලධාරි ආර් එම් ජි රත්නායක  මහතාගේ සම්බන්ධීකරණයෙන්   මේ සියලු කටයුතු සිදු  කෙරිණි.
විමලසේන සියා ට පහේ වාට්ටුවෙන් සමුදිමට සිදුවිම ඉතා හැගිම්බර අවස්ථාවක් විය. ඔහු පහේ වාට්ටුවේ ප්‍රධාන හෙදි නිලධාරි එන් ජි නානායක්කාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට ආචාර කරමින් පහේ වාට්ටුවෙන් නික්ම ගියේ දෙනෙතට කදුළු පුරවාගනිමිනි. විමලසේන සියාගේ දෑස්වලින් කදුළු කැට රුරා වැටෙන්නට වුයේය. 


 විමලසේන සියා රැගෙන යාමට පළමුව  පහේ වාට්ටුවේ කාර්ය මණ්ඩලය විසින් රැවුල කපා පිරිසිදුකර  ඇලුත් ඇදුම් ඇන්දවිමටද කටයුතු කළහ. විමලසේන සියා නික්ම යාම පහේ වාට්ටුවේ කාර්ය මණ්ඩලයටද ඉතා හැගුම්බර අවස්ථාවක් විය.