වසර 12කින් තිරසාර රටක්


 

විනීතා එම් ගමගේ

 

         

තිරසාර සංවර්ධනය සඳහා වූ තිරසාර වැඩපිළිවෙළ සහිත ‘‘තිරසර දැක්ම කෙටුම්පත ප‍්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (7) පස්වරු 3 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ දී සිදු කෙරේ.

 

ශ්‍රී ලංකාව 2030 වසර වනවිට තිරසාර සංවර්ධනය ළඟාකර ගත් රටක් බවට පත්වීමට අවශ්‍ය මුලික පියවර මෙම කෙටුම්පත යැයි ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා ප‍්‍රකාශ කළේය.

 

මෙම කෙටුම්පත පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපති ලේකම්වරයා මේ අදහස් පළ කළේය.

         

ආර්ථිකය, පරිසරය, සමාජය යන අංශ තුන යටතේ මෙහි කරුණු අඩංගු වන අතර ඒ සඳහා යෝජනා අදහස් ඉදිරිපත් කරන ලෙස සමාජයේ සියලූ පාර්ශව වලට ආරාධනා කරන බව ද ලේකම්වරයා කීය.

         

අදහස් සියල්ල ලබා ගැනීමෙන්  පසු පනත සකස් කරන අතර පසුව ජාතික තිරසර  ප‍්‍රතිපත්තිය ඉදිරිපත් කරන බවත් කවර ආණ්ඩුව පැමිණියත් ඉදිරියට ක‍්‍රියාත්මක කරන අන්දමින් මෙම වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම කියා සිටියේය.

 

මෙම වැඩපිළිවෙළ ආරම්භ වීමට මූලිකත්වය දරන්නේ 2015 දී එක්සත් ජාතින්ගේ සම්මේලනය අමතමින් ජාතික තිරසාර ප‍්‍රතිඥාව ලබාදීමෙන් යැයි කී සෙනෙවිරත්න මහතා එම සම්මේලනයේ දී ලෝකයම තිරසාර සංවර්ධනය ඉදිරියට ගෙන යාමට ප‍්‍රතිඥා දුන් බව ද පැවැසීය.

 

එහි පළමු  පියවර ලෙස තිරසාර සංවර්ධන අමාත්‍යංශය ආරම්භ වූ බවත් පසුව ක‍්‍රමානුකූලව ඉදිරියට ආ මෙම වැඩපිළිවෙළ අනුව මේ වනවිට පනත සඳහා කෙටුම්පතක් සැකසුණු බවත් හෙතෙම සඳහන් කළේය.

 

මෙම පනත සඳහා වූ කෙටුම්පත විද්වතුන් 43 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුවක් විසින් සකස් කළ එකක් වන අතර එය අද සියලූ පාර්ශව ඉදිරියේ ඉදිරිපත් කරන බවත් ජනාධිපති ලේකම්වරයා කීය.

 

ප‍්‍රතිපත්තිය සකස් කිරීමේ දී අධීක්ෂණය සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් මන්ත‍්‍රී කණ්ඩායමක් ද  පත්කරනු ලැබ ඇත.

 

මෙම තිරසාර දැක්ම සඳහා වූ වැඩපිළිවෙළ අධික්ෂණය සඳහා පාර්ලිමේන්තු තේරිම් කමිටුවක් පත් කළ ලොව පළමු රට ශ්‍රී ලංකාව වේ.

         

ජාතික තිරසර කතිකාව පිළිබඳ අදහස් ලබා ගැනීම සඳහා අද සිට කටයුතු කරන බවවත් සෑම පළාතකම අයෙකුගේම අදහස් දැන ගැනීමට විදවත් කමිටුව බලාපොරොත්තු වන බවත් වෙබ් අඩවිය, ෆේස් බුක් ට්විටර් ගිණුම හා ඍජු  තැපැල් හා දුරකථන අංක ඔස්සේ අදහස් යෝජනා ලබාදිය හැකි බවත් ජාතික තිරසර කතිකාව සකසන විද්වත් කමිටුව කියයි.