වස විස නැති ගොවිපළක්


ඇමෙරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් තම උපන් ගමේ අක්කර 30ක වස විස නැති අමුතු තාලයේ ගොවිපළක් අරඹයි. ඔහු එහි 25 දෙනෙකුට රැකියා සපයයි. ගොන් බැඳි තිරික්කලයෙන් මෙන්ම අසු පිටින් ද මේ ගොවිපොළ වටේ යා හැකියි. ඇමෙරිකාවේ ප්‍රකට රාන්ච් ( විශාල ගොවිපළ ) නම යොදාගෙන මේ ගොවිපළ දොස්තර මයික්ගේ ගෝනහේන රාන්ච් යනුවෙන් ඉංග්‍රීසියෙන් හැඳින්වේ. ගොවිපළ අරඹා මාස පහකි. කාබනික පොහොර හා ජලබිංදු තාක්ෂණයෙන් වගා කරන මේ ගොවිපළ ඕනෑම කෙනෙකුට නැරඹීමේ පහසුකම් ද සලසන බව කෙටි නිවාඩුවට පැමිණ සරම කමිසය ඇඳ ගොවිපලේ වැඩ කරන දොස්තර මෛත්‍රී වීරසිංහ මහතා කියයි. පොල්ගස්ඕවිට පහලගම ප්‍රදේශයේ ඉපිද කිඳෙල්පිටිය රජයේ විද්‍යාලය, වෙල්ලත රජයේ විද්‍යාලය, හොරණ ශ්‍රීපාලි විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපන හැදෑරූ වෛද්‍ය මෛත්‍රී වීරසිංහ මහතා කොළඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨයේ උසස් අධ්‍යාපන හැදෑරීය. කොළඹ ජාතික රෝහලේ හා රිජ්වේ ආර්යා රෝහලේ සීමාවාසික පුහුණුවෙන් පසු මැදිරිගිරිය, ලිඳුල ආදී ප්‍රදේශවල සේවය කර එංගලන්තයේ වසර තුනක් ගත කළ අතර මේ වන විට වසර 30ක පමණ කාලයක සිට ඇමෙරිකාවේ ජීවත් වෙන ඔහුට ද්විත්ව පුරවැසිභාවය හිමිය. වෛද්‍ය මෛත්‍රී වීරසිංහ මහතා පවසන්නේ ගැමි ජීවිතයට බොහෝ සෙයින් ඇලුම් කරන තමා විනෝදාංශයක් ලෙස ගොවිපල ආරම්භ කළ බවයි. වසර විස්සක් පුරන්ව තිබූ අක්කර පහක කුඹුරක් අස්වැද්දීම ගැන ඔහු කතා කරන්නේ ඉතා සතුටිනි. වෛද්‍ය මෛත්‍රී වීරසිංහ මහතා සේවය කළ ලිඳුල, මැදිරිගිරිය ප්‍රදේශවල හා උපන් ගම වන පොල්ගස්ඕවිට පහලගම තරුණ තරුණියන් 25 දෙනෙක් පමණ මේ ගොවිපලේ  සේවය කරති.  ඔවුන්ට ආහාරපානාදිය සහ සියලු නේවාසික පහසුකම් නොමිලේ සපයති. වර්තමානයේ වෙළෙඳපොලේ ඇත්තේ රසායන පොහොර යොදා වගා කරන පළා වර්ග නිසා කාබනික පොහොර යොදා පලා වර්ග වගා කිරීමට මේ ගොවිපල මුල් තැන දෙන බව වෛද්‍ය මෛත්‍රී කියයි. තම්පලා, අරකීර, මුගුනුවැන්න, සාරණ, කංකුන්, කතුරුමුරුංගා ආදී පළා වර්ග ද, කෙසෙල්, ෆැෂන් ෆෘට්, ඩ්‍රැගන් ෆෘට් වැනි පළතුරු වර්ගද, එළවළු වර්ගද එක්කර 25ක් පුරා වගා කර ඇති ගොවිපළේ අක්කර පහක වී වගාකර ඇත. ජල බිංදු තාක්ෂණයෙන් ජලය සැපයීට ජලය ලබා ගන්නේ ගොවිපළ අසලින් ගලා යන කිඹුල්කොටුව ඇලෙනි. කුඩා ජීව වායු ඒකකයක් ද ගොවිපලේ වෙයි. වෛද්‍ය මෛත්‍රී වීරසිංහ මහතා - ‘මම විනෝදාංශයක් විදියට තමයි මේ ගොවිපළ පටන් ගත්තේ. දැන් මාස හයක් පමණ වෙනවා පටන් අරන්. මගේ අරමුණ තමයි දේශීය ක්‍රමවේද ආරක්ෂා කරගනිමින් නවීන තාක්ෂණයත් සහාය කරගෙන හොද ගොවිපලක් ලෙස මෙය වර්ධන කිරීම. දේශීය විදේශීය සංචාරකයන්ට අපේ කම ගැන, ගැමි ජීවිතයේ සුන්දරත්වය ගැන හොද අවබෝදයක් ලබා දෙන තැනක් බවට මම මේ ගොවිපළ පත් කරනවා. වෛද්‍ය මෛත්‍රී මහතාගේ ඊමේල් ලිපිනය - [email protected]