වවුනියා ව්‍යාපාරිකයා පැහැරගැනීමේ තැත වරදී


(රොමේෂ් මධුෂංඛ)

වවුනියාව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු පැහැරගැනීමට පැමිණි කණ්ඩායමක සාමාජිකයින් තිදෙනකු අද(12) වවුනියාවේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි.

යෝගරාසා ගජේන්ද්‍රන් නමැති ව්‍යාපාරිකයා වවුනියාව ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකට පැමිණ තම වෑන් රථයට ඉන්ධන ලබාගැනීමෙන් පසු ආපසු යමින් සිටියදී මෝටර් රථ දෙකකින් පැමිණි පිරිසක් ඔහුට පහර දී ඔවුන් පැමිණි මෝටර් රථයට නංවා ගැනීමට උත්සාහ දරා ඇත.

එහිදී අදාල ව්‍යාපාරිකයා තම ආත්මාරක්ෂාව සඳහා පැහැරගැනීමට පැමිණි පුද්ගලයින්ට පහර දී ඇති අතර ප‍්‍රදේශවාසීන්ද එහි පැමිණ ඇති අතර පහරදීම හේතුවෙන් එක් සැකකරුවකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇති  බවද පොලිසිය කියයි.

ප‍්‍රදේශවාසීන්ගේ පැමිණීමත් සමඟ ව්‍යාපාරිකයා පැහැරගැනීමට පැමිණි එක් මෝටර් රථයක් හා පැමිණි පුද්ගලයින් කිහිපදෙනකු පළාගොස් ඇති බවද  අදාල ව්‍යාපාරිකයා විදේශ රැකියා ලබාදෙන බව කියමින් සිදුකළ මුදල් වංචාවක් හේතුවෙන් තමන් ඇතුළු කණ්ඩායම පැමිණි බවටත් එහිදී ව්‍යාපාරිකයා තමන්ට පහරදුන් බවටත් පහර කෑ පිරිස් පොලීසියට කියා සිටියහ.