(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව, ගුඩ්ෂෙඩ් මාර්ගයේ පළමුවන හරස්වීදියේ නිවසකින් පසුගිය 31 වැනිදා මාස අටක් වයසැති දරුවා පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අට දෙනෙකු මඩකලපුව එරාවුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලීසිය පවසයි.
පසුගිය 31 වැනිදා අලුයම වෑන් රථයකින් පැමිණි හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බලහත්කාරයෙන් නිවසට කඩා වැදී අදාළ දරුවා පැහැරගෙන ගොස් තිබිණි.
වෂුදරන් වානිෂන් නමැති මාස 08 ක් වයසැති දරුවෙකු එලෙස පැහැරගෙන ගොස් තිබිණි.
දරුවාගේ පියා ලන්ඩනයේ පදිංචිව සිටින අතර, ඔහු හා තමා අතර කලෙක පටන් ආරවුලක් හටගෙන ඇති බවටත් අදාළ ආරවුල හේතුවෙන් දරුවාගේ පියා කණ්ඩායමක් යොදා දරුවා පැහැරගෙන යන්නට ඇති බවද දරුවාගේ මව සඳහන් කළාය.
දරුවා රැගෙන ගොස් දින කිහිපයකට පසුව දරුවාගේ පියා බව සැලකෙන පුද්ගලයා විදේස් රටක සිට වව්නියාව පොලීසියට දුරකතන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ දරුවාගේ මව විසින් අන්තර්ජාලය ඔස්සේ දරුවා තමන්ට පෙන්වීම නවතා දැමීම හේතුවෙන් තමන් පිරිසක් යොදවා දරුවා පැහැරගත් බවයි.
පසුව මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දරුවා සගවාගෙන සිටියදී සොයාගැනීමට හැකි වූ අතර දරුවා පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකුද මීට පෙර අත්අඩංගුවට ගනු ලැබීය.