වව්නියාව නව බස්නැවතුම්පොළේ නොසන්සුන් තත්ත්වයක්


(සිතුම් චතුරංග)

ලංකා ගමනාගමන මණ්ඩලයේ හා පෞද්ගලික බස්රථ වවුනියාව නව බස් නැවතුම්පොළ වෙත යොමුකරන ලෙස උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේෂ්වරන් මහතා විසින් ලබාදුන් නියෝගයත් සමග අද(25) වවුනියාව දිස්ත‍්‍රික් පෞද්ගලික බස්රථ සේවකයින් අතර නොසන්සුන් තත්වයක් හටගැනිණි.

අද සිට සියලූ බස්රථ නව බස්නැවතුම්පොළට ඇතුළත් කරන ලෙස ඉල්ලා ප‍්‍රධාන අමාත්‍යවරයා ලබාදුන් නියෝගයට අනුව පෞද්ගලික බස්රථ රියදුරන් පමණක් නව බස්නැවතුම්පොළට බස්රථ රැගෙනයාමෙන් පසු ලංගම බස්රථ බස්නැවතුම්පොළට නොපැමිණීම හේතුවෙන් තත්ත්වය ඇතිවිය.

රුපියල් කෝටි 20 කින් ඉදිකොට පසුගිය ජනවාරි 17 වැනිදා විවෘත කළ නව බස් නැවතුම්පොළහි පෞද්ගලික බස් රථ හා ලංගම බස් රථ ධාවනය කිරීමට යොමු කිරීමට නියමිතව තිබූ අතර විවෘත කොට දින දෙකකට පසු දෙපාර්ශවයේ සේවකයින් අතර ඇතිවූ  ගැටුමක් හේතුවෙන් වසරකට ආසන්න කාලයක් බස්නැවතුම්පොළ වසාදමා තිබිණි.

වසා දැමු බස් නැවතුම්පොළ සේවා කටයුතු නැවත ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට නැවත සිදුකරන ලෙසට උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය හා ප‍්‍රවාහන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පොලිසිය වෙත නියෝග කොට තිබිණි.

අදාළ නියෝගය අනුව වවුනියාව පෞද්ගලික බස් රථ සේවකයින් අද උදැසන සිට නව බස් නැවතුම්පොළ වෙත ගමන් කොට තිබු අතර, ලංගම බස් පැරණි බස් නැවතුම්පොළින් ඉවත්වීමට අකමැත්ත පළ කිරීම මත නැවත අර්බුදයක් හටගැනිණි.

වවුනියාව පොලිස් නිලධාරීන් හා නගර සභා නිලධාරීන් ලංගම බස් රථ සේවකයින්ට නව බස් නැවතුම්පොළ වෙත ගමන් කරන ලෙසට නියෝග කළද ලංගම සේවකයින් ඊට විරුද්ධවීම හේතුවෙන් මේ වන විට උණුසුම් තත්වයක් හටගෙන ඇත.

ලංගම සේවකයින් පවසා සිටියේ පෞද්ගලික බස් සේවකයින් සමග ඒකාබද්ධ කාලසටහනක් අනුව තමන්ට ධාවන කටයුතු සිදුකළ නොහැකි බවත් තමන් පැරණි බස්නැවතුම්පොළේ රැඳී සිටින බවත්ය.

ගැටලුව පිළිබඳ සාකච්ඡාකොට ඉක්මන් විසදුමක් ලබාදීම සදහා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ ලේකම් රූබනි වර්ධලිංගම් මහත්මිය ඇතුළු පිරිසක් පැමිණ අදාල පාර්ශව සමග සාකච්ඡා කළ අතර ලංගම සේවකයින් බස්නැවතුම්පොළට යෑම පිළිබඳව අද සවස් වන තුරු නිශ්චිත තීරණයක් ගෙන නොතිබිණි.