වව්නියාව නගර සභාපතිට පොලිස් ඇප


(නිමන්ති රණසිංහ සහ සිතුම් චතුරංග)

වව්නියාව තානායමේ ආරක්ෂක නිලධාරියාට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වව්නියාව නගර සභාපතිවරයා අද (15) පොලිස් ඇප මත මුදා හැරුණු බව වව්නියාව පොලීසිය පවසයි.

වව්නියාව පොලීසිය විසින් මෙලෙස පොලිස් ඇප මත මුදාහැරුණු ලැබුවේ වව්නියා නගර සභාපති රාසලිංගම් ගෞතමන් මහතා ය.

මෙම සිද්ධියට අදාළ පැමිණීල්ලට සහ සැකකරුට සමථ මණ්ඩලයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් සැකකාර නගර සභාපතිවරයා ව එසේ  අද (15) පොලිස් ඇප මත මුදා හැර තිබිණී.

සැකකාර නගර සභාපතිවරයා වව්නියාව තානායමේ සේවය කරන ලද තවත් පුද්ගලයන් දෙදෙනකුට ද තර්ජනය කර ඇති බවට මේ සම්බන්ධයෙන් වව්නියාව තානායමේ හිටපු කළමණාකරුගේ බිරිද සිදුකළ පැමිණීල්ලකට අදාළව වව්නියාව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණී.

වව්නියාව තානායම පවත්වාගෙන යාමේ බදු ගිවිසුම මීට වසර දෙකකට කලින් අවලංගු වී ඇති අතර, එහිදී එය පවත්වාගෙන ගිය අය විසින් රුපියල් ලක්ෂ 4කට අධික මුදලක් නගර සභාවට ගෙවීමට තිබූ බව සදහන් වෙයි.

ඒ අනුව එම මුදල නොගෙවීම මත වව්නියාව තානායම සීල් තැබීම සදහා වව්නියාව නගර සභාපතිවරයා ඇතුළු නිලධාරින් කිහිප දෙනකු එම ස්ථානයට ගිය අවස්ථාවේදී එහි ආරක්ෂාවට සිටි අයකු සහ එහි රැදී සිටි පිරිස සමග ඇති වූ බහින්බස් වීමක් මත මෙම පහරදීම සිදුවී ඇති බව පොලීසිය පවසයි.මෙම තානායමේ හිටපු කළමණාකරු මියගොස් ඇති අතර සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ හිටපු කළමණකරුගේ බිරිද විසින් බව ද පොලිසිය සදහන් කරයි.

කෙසේ වෙතත් තමන් සිදුකිරීමට ගිය රාජකාරියට මෙම  පිරිස බාධා කළැයි  සදහන් කරමින් වව්නියාව නගර සභාපතිවරයා ඇතුළු සේවකයන් දෙදෙනකු ද පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇති බව පොලීසිය කියයි.