( සිතුම් චතුරංග)
වවුනියාව බන්ධානාගාරයේ රැඳවියන්ට සිදුව ඇතැයි පැවසෙන හිංසන හා රැඳවියන්ගේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මානව හිමිකම් නිලධාරීන් අද (11) වවුනියාව රිමාන්ඩ් බන්ධනාගාරය වෙත පැමිණ පරීක්ෂණ ආරම්භ කළේය.
පසුගිය සිකුරාදා (04) වවුනියාව අධිකරණයේ විභාගවූ නඩුවක් අතරතුර සැකකරුවකු විසින් බන්ධනාගාරය තුළ හා එහි නිලධාරීන් විසින් සිදුකරන විවිධ හිංසන පිළිබඳ හෙළිකිරීමත් සමඟ විමර්ශන සඳහා වවුනියාව බන්ධනාගාරය වෙත පැමිණි බව මානව හිමිකම් නිලධාරීන් පැවසීය.
වවුනියාව මානව හිමිකම් නිලධාරි නීතිඥය වසන්ත රාජ් මහතා පවසා සිටියේ පැය තුනක පමණ කාලයක් බන්ධනාගාර නිලධාරීන්ගෙන් හා රැඳ වියන්ගෙන් ප‍්‍රකාශ සටහන් කරගත් බවයි.
බන්ධනාගාරයතුළ පවතින තත්වයද නිරීක්ෂණය කළ බවත් , මේ පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකර සියලූ වාර්තා කොළඹ මානව හිමිකම් කාර්යාලය වෙත ලබාදීමට නියමිත බවද පැවැසීය.
වවුනියාව බන්ධනාගාරයේ නිලධාරීන් විසින් සිදුකරන කප්පම් ගැනීම් , රැඳවියන්ට සිදුවන විෂමාචාර සිද්ධින් පිළිබඳ වහාම පියවර ගතයුතු බවට රජයට බලකරමින් ඊයේ (10) වවුනියාව අධිකරණයේ සියලූම නීතිඥයවරු වවුනියාව අධිකරණ සංකීර්ණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරතවූහ.