වල්ලපට්ටා වවා අම්බොක්ක කන්ද වනසති


(කාංචන කුමාර ආරියදාස)

 

මාතලේ අම්බොක්ක කන්ද මුදුන එළිපෙහෙළි කොට කිසියම් පිරිසක් තේ ,වල්ලපට්ට ,හා පැඟිරි වගා කර ඇත. කන්ද මුදුනෙන් පටන් ගන්නා දිය උල්පත් හරස් කර එම වගාවන්ට යෙදීම නිසා කන්දෙන් පහළ ගම්මාන ගණනාවක් උග්‍ර ජල හිඟයකට මුහුණපා සිටිති .

මාතලේ පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නැව්ගල නමැති කන්ද නුදුරින් ඉතා අලංකාර මනස්කාන්ත අයුරින් මේ අම්බොක්ක කන්ද දිස්වේ. රිවස්ටන් කඳු මුදුන කලින් කලට කාලගුණය වෙනස් වන අතර වැඩි කාලයක් වලාකුළුවලින් කන්ද වසාගෙන තිබෙන බව දැකිය හැකිය .

මේ කන්ද මුදුනේ සිදුකරන පරිසර විනාශය හා කන්ද අත්පත් කරගන්නා බවට බලධාරීන්ට වසර කීපයක සිට දැන් වුවද අවධානයක් නොමැති නිසා ප්‍රදේශයේ තරුණයන් පිරිසක් මේ විනාශය සිදුවන ආකාරය ගැන මාධ්‍ය දැනුවත් කරන්නට තීරණය කොට තිබිණි .

ඒ අනුව ලෝක පරිසර දිනය වූ 5 දින අපි එහි ගියෙමු.

අම්බොක්ක ගමේ අප ගමන් ගත් වාහන නවතා ඉතා දුෂ්කර මාර්ගයකින් කිලෝමීටර් 5 ක පමණ දුරක් කන්දේ ගමන් ගැනීමෙන් පසු අපි කොන්ඩගල හරහා පාගමනින් කන්ද තරණය කළෙමු .

අව්ව වැස්ස වගේම පින්න දැඩි මීදුම් තත්ත්වයන් අතරේ පාදවල කූඩැල්ලන් ලේ උරාබෝද්දී මේ ගමන යාමට සිදුවිණි. මහා වනය මැද විශාල ගල්පර බෝරදමා කඩා අනවසරයෙන් ඇතුළුවීම තහනම් බවත් බල්ලන් සිටින බවට අනතුරු අඟවන දැන්වීම් අපි දුටුවෙමු. එමෙන්ම ස්වභාවික ජල උල්පත් හරස් කොට මහා වනමැද පොලිතින් රැසක්ද විය. මද දුරක් ගමන් කරද්දී යන්ත්‍ර සුත්‍ර සවි කොට පැගිරි තෙල් සිදින කර්මාන්ත ශාලාවක්ද විය. ඒ අසල සිංහල හෝ ඉංග්‍රිසි  කතා කරන්නට නොහැකි හතර දෙනෙක් සේවය කරමින් සිටියහ .

ඒවාද පසුකර කදු මුදුනට යද්දී ස්වභාවික ගස් කොළ ඉවත් කොට ආර්ථික වටිනාකමක් ඇති වල්ලපට්ට ශාකය වගාකොට ඇති ආකාරය දැකගත හැකිවිණි . කන්දේ අවට ද මහා වනය ඉවත් කොට පැඟිරි පැළ වගා කොට ඇත. කන්ද මුදුනේ ගල් පර හරස් කොට අගල් කපා තේ වගාව ආරම්භ කර හමාරය .

එම ස්ථානවලට කදු මුදුනේ පිහිටි ජල උල්පත් හරස් කර ප්ලාස්ටික් විශාල ටැංකිවලට ජලය හරවා වගාවන්වලට යොදා ඇත .මේ ආකාරයෙන් විශාල ප්‍රදේශයක් විය .කදු මුදුනේ මහා ගණ කැලයේ කම්බි කට්ට සිටුවා අත්පත් කරගෙන ඇති දර්ශනද දැකගත හැකිවිය.

අප සමග ගමනට එක්වූ අම්බොක්ක ගමේ තරුණයකු වන ප්‍රියන්ත රුක්මන් රත්නායක මහතාට මේ වගාවන් බලාගන්න සිංහල කතා කිරීමට නොහැකි සේවකයකු කන්ද මුදුනට ජංගම දුරකතනයක් ලබා දුන්නේය. ඉන් කතා කලේ මේ ඉඩම හා කන්ද උඩ ගොවිතැන් කරවන බව කියන කොළඹ පදිංචි මොහොමඩ් නම් කියූ අයකු කිවේ මේ කන්ද තමන් සල්ලිවලට අරගෙන  තිබෙන බවත් ය. එමෙන්ම මේ කන්ද උඩ වගා කිරීම ගැන තමන් රජයේ නිලධාරින් හා දේශපාලන අධිකාරිය වන රාජ්‍ය ඇමැති වසන්ත අලුවිහාරේ රන්ජිත් අලුවිහාරේ යන මහත්වරු දැනුවත් කොට සිදු කරන බව කිවේය. තමන් මේ කන්ද මුදුන සුද්ද කරන බවත් නොකර සිටින්නේ මහා වනයේ දිවියා සිටින නිසා බවත් ඔහු වැඩිදුරටත් කීය.

මේ කඳු සහිත ප්‍රදේශය සංරක්ෂිත පරිසර කලාපයක් කරන්නට ප්‍රදේශීය සංවර්ධන කමිටුව තීරණය කොට ඇතත් දිනෙන් දින එම කටයුත්ත ප්‍රමාද කරමින් පවතින බව එහි මාසික වාර්තාවල දැක්වේ .

මේ කඳු පන්තියේ කොටස් අවස්ථා ගණනාවක නාය ගොස් ඇති බවත් ඉන් ජිවිත රැසක් අහිමි වී තිබෙන බව ද මේ කඳු මුදුන විනාශ කිරීමත් සමඟ කන්ද නාය යාමේ අවධානම් තත්ත්වයක් පවතින බැවින් තම ගම්වැසියන්ගේ ජිවිතවල වගකීම ගන්නේ කව්රුන්දැයි ප්‍රියන්ත රුක්මන් මහතා විමසා සිටියි .

අප සමඟ ගමනට එක්වූ ඩබ්ලිව් .එම් .සි .කේ .අබේරත්න මහතා කඳු මුදුනට ගොස් සවිකර ඇති කම්බි කණු පෙළක් අපට පෙන්වමින් කිවේ වසර දාස් ගන්නනාවක සිට පැවත එන  ගස් කොළන් කදු ගල් මේ පුද්ගලයන් කොටුකර ගන්නා බවය .

ගමනට එක්වූ දුමින්ද බණ්ඩාරනායක මහතා කිවේ මාතලේ ඇති සුන්දරම කදු පන්ති අතරින් එකක් වන සංචාරක ආකර්ෂණයක් ඇති අම්බොක්ක කන්ද බේරා ගැනීමේ ජාතික වැඩපිළිවෙලක් අවශ්‍ය බවය .

 මේ පිලිබදව පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් .එම් . ආනන්ද මහතාගෙන් විමසීමේදී කිවේ මේ කඳු පුද්ගලික මිනිසුන්ට අයිති බවත් එසේ පුද්ගලික ඉඩම් වලට ඇතුළුවීමට අවසරයක් නොමැති බවය. මේ ප්‍රාදේශය තවම ඉඩම් මැනුම් ගත කිරීමක් සිදුකර නැති බවද තමන් තවදුරටත් සොයා බලන බවත්ය .

රාජ්‍ය ඇමැති වසන්ත අලුවිහාරේ මහතාගෙන් විමසීමට උත්සහ කළද දුරකථනය ඇමතුම ලබාගත් තැනැත්තා කිවේ ඇමැති වරයා කඩිනමින් සම්බන්ධකර දෙන බවය .

වැඩිදුර ඡායාරූප සඳහා පිවිසෙන්න https://tinyurl.com/ycw8gd86