පුත්තලම කල්අඩිය නිදහස් මාවත නෙලුම්වැව ප්‍රදේශයට කඩා වදින වල් අලියෙකු හේතුවෙන් රාත්‍රි කාලයේ දැඩි ලෙස බියකින් පසුවීමට සිදුවී ඇති බව ගම්වාසින් පවසයි.මේ දිනවල සෑම දිනකම ගමට කඩා වදින මෙම වල් අලියා දේපල වගා බිම්වලට හානි සිදු කර පැය ගනන් නිවාස අසල රැඳී සිටිම හේතුවෙන් හදීසි අවශ්‍යතාවයකදී නිවසින් එළියට බැසීමටවත් නොහැකි බවත් ප්‍රදේශවාසිහු කියති.
සිකුරාදා (29) ගෙවත්තකට කඩා වැදුණු වල් අලියෙක් ඵලදරමින් තිබූ පොල් ගස් 15 පමණ විනාශ කරමින් නිවසේ සාලයේ තිබූ පුටු එළියට විසිකර දමා එහි රැදී සිටීම හේතුවෙන් පැය හතරක පමණ කාලයක් පුරා දැඩි අසීරුතාවයකට ලක්වූ බව නිවැසියෝ කියති.
‘කල්අඩිය කියන්නේ අභය භුමියක් වගේ හවස්වෙනකොට අලි රංචු ගණන් පාරේ ඉන්නවා.රෑ වෙනකොට ගමට එනවා. එළවන්න මොනවා කළත් බැහැ. රතිඥ්ඥා දැම්මහම ළඟට එනවා මිසක් යන්නේ නැහැ. එළිවෙනකම් නිදි මරාගෙන ඉඳලා තමයි ගෙවල් ආරක්ෂා කර ගන්න වෙලා තිබෙන්නේ. නින්දකුත් නැහැ රැකියාවට යන්නත් නැහැ. වගාවක් කර ගන්නත් නැහැ. මේ ගමේ මිනිස්සු හරිම දුකකින් කල් ගෙවන්නේ. වල් අලි මිනිස් ගැටුම කිව්වාට එහෙම එකක් නැහැ. මිනිස්සුන්ට පදිංචි වෙන්න ඉඩකඩම් දිලා ගෙවල් හදලා අවසර දිලා තිබෙනවා නම් ඒ මිනිස්සු ජීවත් වෙන්න ඕනෑ.‘ යැයි ගම්වැසියෝ පවසති.










