වරාය නගරයේ ගොඩකිරීම් අවසන්


(ඩයනා උදයංගනී)
 
කොළඹ වරාය නගරය ඉදිකිරීම සඳහා මුහුද ගොඩකිරීමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.   
 
හෙක්ටාර 269 ක භූමියකින් සමන්විත කොළඹ වරාය නගරයේ මීළඟ අදියර ලෙස ගොඩනැඟිලි සහ අනෙකුත් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ඉදිරියේදී සිදුකරන බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.
               
ගොඩකිරීම් අවසන් කළ වරාය නගරය නිරීක්‍ෂණය කිරීමේ චාරිකාවක මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චැන් ෂුයෑංග් මහතා ඇතුළු පිරිසක් හෙට (16) දිනයේදී නිරතවීමට නියමිතය.
               
කොළඹ වරාය නගරය හෙවත් ‘පෝර්ට් සිටි’ ව්‍යාපෘතිය මෙරට ඉතිහාසයේ ඉදිකෙරෙන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය ලෙස දැක්වෙන අතර එහි ඉදිකිරීම් චීන ජනාධිපති ෂි ජිංපින්ග් සහ එවකට ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය 2014 වසරේ සැප්තැම්බර් මස 16 වැනිදා ආරම්භ කෙරිණි.

මෙය ආරම්භයේදී පරිසර සංවිධාන හා බොහෝ පාර්ශවවලින් විරෝධතාවන් ද මතු වූ අතර පසුගිය 2015 වසරේ පැවති ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී මෙම නගරය ඉදිකිරීම ගැන දෙවරක් සිතා බලන බවට දේශපාලන පොරොන්දු පවා ලබාදීමට වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ එක්සත් ජාතික පෙරමුණු පාර්ශවයන් කටයුතු කර තිබිණි.
 
මෙහි ඉදිකිරීම් කලක් නවතා දමා තිබූ අතර පසුව නැවතත් පරිසර හා තාක්‍ෂණික ආදී ඇගයීම් වාර්තා ලබාගැනීමෙන් අනතුරුව යළිත් මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ නව රජයේ මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය යටතේය.
 
මෙහි ආර්ථික කලාපය පළමුව ඉදිකිරීමට නියමිත අතර සමස්ත ව්‍යාපෘතිය තවත් වසර 25කින් පමණ අවසන් කිරීමට නියමිතය.         
 
මෙම කොළඹ වරාය නගරය අතිනවීන පහසුකම් රැසකින් සමන්විත වනු ඇති අතර බැංකු කාර්යාල, අලෙවිසල්, හෝටල් හා ආපනශාලා, තානාපති කාර්යාල, නිවාස හා නිවාස ඒකක, බද්ධ නිවාස ගොඩනැඟිලි, සෞඛ්‍ය, අධ්‍යාපන සහ පර්යේෂණ හා සංවර්ධන ආයතන, විවෘත වෙළෙඳ ප‍්‍රදේශ, රූපලාවන්‍ය, බේකරි, රෙදි සේදුම්, මුද්‍රණ, පරිගණක අලූත්වැඩියා, කුඩා පරිමාණ කලා හා අත්කම්, මෝටර් රථ හා මෝටර් සයිකල් නඩත්තු, පයිප්ප වැඩ, වඩු වැඩ සහ වෙනත් ඒ ආකාරයේ කුඩා ව්‍යාපාර, ආපනශාලා, පේ‍්‍රක්ෂකාගාර, පුවත්පත් විකුණුම් ස්ථාන, පොත් සාප්පු, එළිමහන් හා ගෘහස්ත විනෝදාස්වාද ස්ථාන, කලාගාර, සමාජ ආර්ථික මධ්‍යස්ථාන, 
ආදී අංග රැසකින් සමන්විත වනු ඇතැයි ද මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මෙම නගරය කටුනායක හා සම්බන්ධ කෙරෙන අධිවේගී මාර්ගයක් ද ඉදිකිරීමට නියමිතය.