වරාය නගර කොමිසම් සභා පනතට එරෙහි පෙත්සම් සළකා බැලීම හෙට


( තිළිණි  ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ  කොමිසම් සභා  පනත් කෙටුම්පතට එරෙහිව එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් ගොනු කර ඇති විශේෂ පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ හෙට (19) සලකා බැලීමට  නියමිතය.

ඒ අනුව මෙම පෙත්සම්  අගවිනිසුරු  ජයන්ත ජයසූරිය මහතා ගේ ප්‍රධානත්වයෙන්  , බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන,  මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලෙනු ඇත.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය , එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සහ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර , ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ යන මහත්වරුන් ,  තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් ගේ සංගමයේ සභාපති ජී කමල් රේණුක පෙරේරා,  විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු , ඇන්ටන් මාකස් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් මෙම පෙත්සම් ගොනු කළහ.

මෙම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

එම පනත් කෙටුම්පත නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනතාව විසින් ජනමත විචාරණයක දී සම්මත කල යුතු බවට තීන්දු කරන ලෙස සිය පෙත්සම් මගින් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරිත්වයට හානි කරමින් වරාය නගර කොමිසම පනත යටතේ කොමිසම  ස්ථාපිත කර බලය පැරීමට කටයුතු කර ඇති බව පෙත්සම් වල සදහන් වේ.

කොළඹ වරාය නගර කොමිසම යටතේ වරාය නගරයේ ව්‍යාපාර ආරම්භ කරන ව්‍යාපාරිකයන්ට විශාල බදු සහනදීම, බදු රහිත වැටුප් සහ අක්වෙරළ මුල්‍ය මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරිම හා මුල්‍ය විශුද්ධිකරණයට ඉඩ සැළසීම, වසර 40 ක් දක්වා බදු විරාම පැවරීම යනාදිය මෙන්ම වෙනම පරිපාලන ව්‍යුහයක් රටේ පාලනයට පරිබාහිරින් පිහිටුවීම යනාදී කරුණු තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරිත්වයට හානි කර ඇති බව  පෙත්සම්වල සදහන් වේ.

මෙම කොමිසම පිහිටුවීම මගින් රටේ  ජාතික ආරක්ෂාව ට සහ ජාතික ආර්ථිකයට තර්ජනයක්වන බවද පෙත්සම්  මගින්  පෙන්වා දී ඇත.