වර්ජන කළොත් ඉන්දියාව කොන්වෙයි


පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම වර්ජනය කරන්නේනනම් ඉන්දියාව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර තනිවීම නොවැළැක්විය හැකියැයි ශ්‍රී ලංකා රජයේ අදහස වී තිබේ.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා පසුගියදා නව දිල්ලියේදී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සාමාජික රටවල් සියල්ල කැමැත්ත පළ කර තිබියදී එය වර්ජනය කිරීමට කිසියම් රටක් සැරසෙන්නේනම් එය එම රට අනෙක් සාමාජික රටවල් අතර තනි වීමට හේතුවක් වනු ඇතැයි පවසා ඇත.

දකුණු ආසියාවේ බලවතා වන ඉන්දියාව පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූවේත් බලවත් රටක් යැයිද මෙනිසා පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් ක්‍රියාකිරීම නොව දකුණු ආසියා කලාපයේම හා ඉන්දියාවේම සුභසිද්ධිය වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූවට සහභාගී වීම ඉන්දියාව සතු වගකීමක් යැයි කාරියවසම් මහතා කියා තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූව පැවැත්වීමට තවත් දින ළං වූ පසු සහභාගීත්වය ගැන ස්ථීර පිළිතුරක් දීමට අපේක්ෂා කරන බව ඉන්දියාවේ විදේශ ලේකම් සුජාතා සිං පසුගිය සතියේ ප්‍රකාශ කළාය.

ඇයට අනුව ඉන්දියාවට විදේස් සබදතා මෙන්ම රටෙහි අන්තර් සබදතාද එකසේ වැදගත් බැවින් පවතින තත්ත්වය දෙස බලා සුදුසු තීරණයක් ගැනීමට ඉන්දියාව කටයුතු කරනු ඇත.

මේ අතර ඉන්දියාව පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූව වර්ජනය කළ යුතුයැයි දැඩි මතයක සිටිනා තමිල් නාඩුවේ දේශපාලන පක්ෂ ඉන්දියාව මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූව වර්ජනය කළ යුතු යැයිද ඊට අමතරව පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලූවේ සාමාජිකත්වයෙන් තාවකාලිකව ඉවත්වී සිටය යුතු යැයිද සදහන් වන යෝජනාවක් ඒකමතිකව සම්මත කරගෙන ඇත.

ඉන්දියාවේ පාලක කොංග්‍රස් පක්ෂ රජයේ ප්‍රධාන ආධාකරුවන් වන තමිල්නාඩු දේශපාලන පක්ෂ සම්මත කර ගෙන ඇති මෙම යෝජනාව නිසා රජය තවත් පීඩනයට පත්ව ඇතැයි දේශපාලන විචාරකයින් පවසයි.

ඉන්දියාවේ සහභාගීත්වය ගැන ස්ථීර අදහසක් ලබාගැනීමට තවදුරටත් කල්මැරීමට සිදුවන සෙයක් පෙනේ.