වයිරසයේ නවතම කේන්ද්‍රස්ථානය අසල්වැසි ඉන්දියාව


ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය පැතිර යෑමේ නවතම කේන්ද්‍රස්ථානය බවට අසල්වැසි ඉන්දියාව පත්ව ඇත.

අද (2) පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී ඉන්දියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් 78,357 දෙනකු හඳුනාගෙන ඇති අතර ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 3.7 ඉක්මවා ගියේය.

දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ශීඝ්‍රයෙන් වැඩි වුවද වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබූ දැඩි සීමා ඉවත් කිරීමට ඉන්දීය ආණ්ඩුව පියවර ගනිමින් සිටියි. නව කොරෝනා වයිරසය රටපුරා ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ඉන්දීය ආණ්ඩුව ඉකුත් මාර්තු මාසයේදී දැඩි සීමා පැනවීය. ඒ හේතුවෙන් එරට ආර්ථිකය දැඩි කඩා වැටීමකට ලක්විය.

බිලියන 1.4කට ආසන්න ජනගහනයක් වෙසෙන අසල්වැසි ඉන්දියාව මේ වනවිට නව කොරෝනා වයිරසය පැතිර යන නව කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අගෝස්තු 30 වැනිදායින් අවසන් වූ සතියක කාලයේදී ඉන්දියාවෙන් පමණක් නව කොරෝනා වයිරස ආසාදිතයන් ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූයේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ (1) නිවේදනය කළේය.

මේ අතර සති තුනක කාලයක් මුළුල්ලේ සිට ඉන්දියාවෙන් දිනපතා වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වාර්තාගත ලෙස වේගයෙන් වැඩිවෙමින් තිබේ.

ඒ.එෆ්.පී./රොයිටර්

055