වඳවී යන සතුන් සමඟ ස්ලෝවැකියානුවෝ 5ක් අත්අඩංගුවට


(විනීතා ගමගේ සහ අජිත්ලාල් ශාන්ත උදය)

වඳවී යන සතුන් වර්ග ඇතුලුව කෘමී සතුන් දහස් ගණනක් හා ශාක කොටස් රැසක්ද සිංහරාජ වනාන්තරයෙන් පිටතට ගෙනයාමට තැත්කළ ස්ලෝවැකියානු ජාතිකයන් 5දෙනෙකු වන සංරක්ෂණ නිලධාරීන් විසින් අද (02) පෙරවරුවේ සිංහරාජ කුඩව පිවිසුමේදී අත්අඩංගුවට ගනුලැබ ඇත.

 

මීට දින 3කට පමණ පෙර මෙම විදේශිකයන් පස් දෙනා සිංහරාජ ප්‍රදේශයේ ලැගුම් හලකට පැමිණ ඇත. වාහන කුලියට දෙන ආයතනයකින් කුලී පදනම මත රියදුරු රහිතව වෑන් රථයක් කුලියට ලබාගෙන එහි පැමිණ ඇත. ප්‍රවේශපත්‍ර ලබාගෙන මීට දින 2කට පෙර මාර්ගෝපදේශකයෙකු සමග සිංහරාජ වනාන්තරය නැරඹීමට ගොස් ඇති මෙම විදේශිකයන් දින 3ක කාලයක සිංහරාජ වනාන්තරයට පිවිසෙන ප්‍රධාන ද්වාරය අසල පුද්ගලික ලැගුම්හලක නැවතී සිට ඇත.

මොවුන් සිංහරාජ වනාන්තරයට ඇතුලුවීමට ප්‍රවේශපත් ලබාගැනීමේ දී මාර්ගෝපදේශකයෙකුගේ සහාය මුලින් ප්‍රතික්‍ෂේප කර ඇත. ඒ සම්බන්‍ධයෙන් සැක සිතූ ප්‍රවේශපත්‍ර නිකුත් කරන ස්ථානයේ සහ සිංහරාජ වනපාලක කාර්යාලයේ නිලධාරීන් මොවුන් ගැන විශේෂ අවධානයකින් පසුව ඇත.

ලැගුම්ගෙන සිටි ලැගුම්හලේ සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි තවත් ලැගුම්හලකට ඊයේ (01) රාත්‍රී ගිය මෙම විදෙස් සංචාරකයන් පස්දෙනා මත්පැන් සාදයක් එහි පවත්වන බවට ලද තොරතුරක් අනුව වනසංරක්‍ෂණ නිලධාරීහු අවධානයෙන් සිටියහ.

වෙරිමත්වූ ස්වරූපයක් පෙන්වා පැමිණි වෑන් රථය සාදය පැවැත්වූ ලැගුම්හලේ තබා පා ගමනින් නැවති සිටි ලැගුම්හලට ඊයේ (01) රාත්‍රී ගොස් ඇත. මොවුන්ගේ හැසිරීම සම්බන්‍ධයෙන් සැකසිතූ වන සංරක්‍ෂණ නිලධාරීන්ට අද (02) උදේ සෆාරි ජීප් රියකින් වෑන් රථය නවතා තිබූ ලැගුම්හලට එන විදේශිකයන් හතරදෙනක් හමුවී ඔවුන් පිළිබඳ පරීක්‍ෂාකර තිබේ.


මේ වනවිටත් තර්ජනයට ලක්ව ඇති දුර්ලභ සමනලුන් විශේෂ 3ක් ඇතුලුව ගෝනුස්සන්, හැකරැල්ලන්, බඹරුන්, දෙබරුන්, කණාමැදිරියන් වැනි සතුන් දහස් ගණනක් ඔවුන් සතුව තිබූ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

එමෙන්ම විවිධ බීජවර්ග හා ශාක කොටස් විශාල ප්‍රමාණයක්ද ඔවුන් සතුවී යැයි පැවසූ එම නිලධාරියා සතුන් අතර ජීවී සතුන් මෙන්ම, මියගිය සතුන්ද සිටි බව සඳහන් කළේය. සිංහරාජ වනාන්තරය තුළින් මෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එකතු කරගත් ශාක හා සත්ව කොටස් ඒ අතර වූ බව හෙතෙම සඳහන් කළේය.


විනෝදයට මේවා එකතු කළ බව ඔවුන් වනසංරක්ෂණ නිලධාරීන්ට පවසා තිබේ. කෙසේවෙතත් අදාල පුද්ගලයන් 5 දෙනා රඳවාගෙන ප්‍රශ්න කරන බවත්, ඔවුන් සතුව තිබූ දෑ අත්අඩංගුවට ගෙන කලවාන වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයේදී මේ වනවිට පරීක්ෂාවට ලක්කරමින් සිටින බවද ඔහු පැවසීය.   

(ඡායාරූප - අජිත්ලාල් ශාන්ත උදය)