(සිතුම් චතුරංග)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන්නි දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නාමයෝජනා ලබාදුන් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 53 ක් අතරින් පිළිගත් පක්ෂ දෙකක හා ස්වාධීන කණ්ඩායම් හයක නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇතැයි වවුනියාව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සමන් බන්දුලසේන මහතා අද (19) පැවසීය.
දිස්ත්‍රීක් තේරීම් භාර නිලධාරීවරයා එලෙස පැවසූයේ වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
පිළිගත් පක්ෂ අතර ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ හා මව්බිම ජනතා පක්ෂය නාමයෝජනා ප්‍රතික්ෂේප වී ඇති බවද සඳහන් කළේය.
ප්‍රතික්ෂේප වූ ස්වාධීන කණ්ඩායම් වන්නේ මන්සූර් අබ්දීන්, අයි.එම්. මොහිදීන්, අයි.එම්.ලියනපතිරණගේ, වී.ප්‍රකාශ්, එල්.සෙල්වචන්දිරම් හා එස්.ඒ රිෂාබ් මහත්වරුන් විසින් ඉදිරිපත් කළ ස්වාධීන කණ්ඩායම් වේ.
තාක්ෂණික කරුණු මත මෙම නාමයෝජනා ප්‍රතික්ෂේප වූ බවත් එහි දිවුරුම් ප්‍රකාශ ප්‍රතිඥාවන් ලබාදී නොමැතිවීම, කණ්ඩායම් නායක අත්සන් යොදා නොතිබීම හා කණ්ඩායම් නායක අත්සන සහතික නොකර තිබීමෙන් එම පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ප්‍රතික්ෂේප වූ බව පැවසීය.
වන්නි මැතිවරණ කොට්ඨාසයේ මන්ත්‍රීධූර හයක් සඳහා පිළිගත් පක්ෂ 17 හා ස්වාධීන කණ්ඩායම් 28 ක අපේක්ෂකයින් 269 දෙනකු තරග කරන බවද තේරීම්බාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.
වන්නි මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද දායකයින් 287,013 දෙනකු මැතිවරණය සඳහා සුදුසුකම් ලබා තිබේ.

