(ක.ග කරුණාරත්න)
වැලිකන්ද වනජීවී බීට්ටු කාර්යාලයට කඩා වැදී එහි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබු මුව මස් සහ වල් ඌරු මස් තොගයක් ගබඩා කොට තිබූ අධි ශීතකරණයක් බලහත්කාරයෙන් රැගෙන යාමට පැමිණි බව කියන පුද්ගලයෝ කණ්ඩායමකින් එක් අයකු සහ ඔවුන් පැමිණි නවීන පන්නයේ කැබ් රථයක් අත්අඩංගුවටට ගැනීමට හැකි වූ බව වනජීවී නිලධාරීහු කියති.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු පසුව වැලිකන්ද පොලිසියට බාරදෙනු ලැබීය.
සැකකරුවන් පැමිණි වාහනයේ යතුර පලාගිය සෙසු පිරිස විසින් රැගෙන ගොස් ඇතැයිද වනජීවී නිලධාරීහු පැවසූහ.
ඩබ්ලිව්.පී.පී.සී 6810 අංක දරණ මෙම කැබ් රථය රජයේ වාහනයක් වන්නට ඇතැයි බොහෝ දුරට විශ්වාස කරන බවද ඔවුහු කීහ.
කැබ් රථය තුළ තිබී ජනාධිපති කාර්යාලයට අයත් ලිපි ගොනුවක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොළොන්නරුව යනුවෙන් සඳහන් ලිපි ශීර්ෂ ආදිය ඇතුළත් ලිපි ගොනුද වනජීවී නිලධාරීන්ට හමුවී තිබේ.
මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද සහ සෙවණපිටිය නගර අතර පවත්වාගෙන යන නවාතැන් පහසුකම් සහිත හෝටලයක මහජනයාට අලෙවි කිරීම සඳහා තිබූ පිසින ලද මුව මස් සහ වල් ඌරුමස් තොගයක්ද එම හෝටලයේම අධිශීතකරණයේ ගබඩා කොට තිබූ මුව මස් සහ වල් ඌරුමස් තොගයක්ද ඉකුත් සෙනසුරාදා (18) වන ජීවජීවී නිලධාරීන් විසින් එක් සැකකරුවකුද සමග අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු එදිනම ඇප මත මුදා හැර ඇති අතර නැවත අධිකරණයට ඉදිරිපත් කිරීම්ට නියමිතව තිබී ඇත්තේ අද(20) දිනයේයි. එම නඩුවේ ප්‍රධාන නඩු භාණ්ඩ වන මස් තොගය සහ ඒවා ගබඩා කර තිබූ අධිශීතකරණය ඉරිදා(19) රාත්‍රියේ මෙසේ පැහැරගෙන යාමට පැමිණි පිරිස අතර හෝටලයේ හිමිකරු ද සිටින බව වනජීවී නිලධාරීහු කියති.



