
(විනීතා එම් ගමගේ)
වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කෲඩියා සිලනිකා ශාඛය පිළිබඳව කටයුතු කිරීමේ දී ගම්පහ දිසා වන අඩවි නිලධාරිනී දේවානි ජයතිලක තම සීමාව ඉක්මවා කටයතු කරන බව පෙනී යන්නේ යැයි වනජීවී හා වනසම්පත් අමාත්‍යංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවැසීය.
ඇය දිසා වන නිලධාරිනිය වන බවත් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති කෲඩියා සිලනිකා ශාඛය පිළිබඳව කටයුතු කරනු ලබන්නේ වනජීවී හා වෘක්ෂලතා පනතේ 42 වගන්තියේ 8 වන උපලේඛනයේ ප්‍රතිපාදනයන්ට අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වන බැවින් ඇය තමන්ට අයත් නොවන කාර්යයකට මැදිහත් වී ඇතැයි ද ලේකම්වරයා කීය.
මෙහි සිදුව ඇත්තේ වන සංරක්ෂක නිලධාරියෙක් වෙනත් පනතක කටයුත්තකට මැදිහත් ව තිබීමක් යැයි ද ගැටුම් කළමණාකරනය කළ යුතු රජයේ නිලධාරිනියක් ගැටුම් ඇති කිරීමේ තත්ත්වයක් ඇති කරන බව පෙනී යන්නේයැයි ද කී හරිස්චන්ද්‍ර මහතා, මේ සම්බන්ධව වන සංරක්ෂකවරයා යම් පියවරක් ගන්නවා ඇතැයි ද කියා සිටියේය.
ඇය යම් හෙයකින් එකී ස්ථානයට යන්නේ නම් ඇයට ඉහළ නිලධාරින්ට ඒ බව දන්වා යායුතු බවත් එහි දී තමන් කරන ප්‍රකාශ කරන්නේ කුමක්ද යන්න ප්‍රධානීන් දැනුවත් කළ යුතුව තිබු බවත් හෙතෙම සදහන් කළේය.
මෙම නිලධාරිනිය සම්බන්ධව චෝදනා ඇතැයි ගම්පහ දිසා ලේකම්වරයා ද තමන් වෙත දන්වා ඇති බව ද ඔහු තවදුරටත් කියා සිටියේය.

