(විනීතා එම් ගමගේ)
වනජීවී දෙපාර්තමේන්තුවේ රාජකාරි කරගන්නට දේශපාලන අධිකාරියෙන් බාධා එල්ල වන බව හිටපු වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ සුමිත් පිලපිටිය මහතා ප‍්‍රකාශ කළේය.
එවැනි බාධා එල්ල නොවුනේ නම් තවමත් වනජීවී අධ්‍යක්ෂවරයා වන්නේ තමන් යැයි ද පිලපිටිය මහතා කීය. එම දෙපාර්තමේන්තුව දේශපාලනයට බිලිදිය යුතු නැතැයි ද එය ජනතාව සතු සම්පතක් බවත් හෙතෙම කියා සිටියේය.
පිලපිටිය මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පුවත් පත් ආයතනයේ ඊයේ (17) පැවැති මාධ්‍යවේදින් සඳහා වූ සම්මන්ත‍්‍රණයක දී අදහස් දක්වමිනි. වනජීවී සහ ස්වභාව සංරක්ෂණය පිළිබඳ පැවැති මෙම වැඩ මුළුවේ දී තවදුරටත් අදහස් දැක්වූ පිලපිටිය මහතා මෙසේ ද කීය.
අලි මිනිස් ගැටුම ගැන කථා කළොත් එම ගැටුම අවම කිරීමේ පළමු සාධකය වන්නේ වැළැක්වීමයි. පුරාණ ගම්වල අලි මිනිස් ගැටුම අවමයි. ඒ අලි ඇතුන්ගේ ජීවන රටාව හඳුනාගෙන ඔවුන් සමඟ සහජීවනයෙන් ජීවත්වන නිසයි.
අලි පහර දීම්වලින් මිය ගිය පිරිමි අය පිළිබඳව පසුගිය කාලයේ කළ අධ්‍යයනයකින් හෙළිවුණේ එසේ මිය ගිය අයගෙන් සියයට 70 ක්ම අධික බීමතින් රාත‍්‍රි කාලයේ ගමන් කරද්දි අලි පහර දීම්වලට ගොදුරු වී ඇති බවයි.
මෙවැනි තත්ත්වයන් ගැන ජනතාව දැනුම්වත් කළ යුතුයි. රාජ්‍ය ආයතන ප‍්‍රජාව දැනුම්වත් කිරීමට යොදන ප‍්‍රතිපාදන ප‍්‍රමාණවත් නැහැ.
වනජීවී උද්‍යාන නැරඹීමට යන සංචාරකයන් අධික වීම නිසාත් වනජීවීන් පීඩාවට පත්වෙනවා. යාල, මින්නේරිය විල්පත්තුව, හෝර්ටන් තැන්න, වැනි උද්‍යානවලට මේ තත්ත්වය බලපා තිබෙනවා. 2016 වසරේ යාලට ඇතුල් වී ඇති වාහන සංඛ්‍යාව හයලක්ෂ පණස් දහසක්. මේ සංඛ්‍යාවලින් පෙනී යන්නේ එහි සතුන් කොයිතරම් පීඩාවට පත්වී ඇත් ද යන්නයි. ’’ යැයි ද පිලපිටිය මහතා ප‍්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය වනජීවී සහ ස්වභාවරක්ෂණ සංවිධානය සමඟ එක්ව සංවිධානය කළ මෙම වැඩමුළුවට ආචාර්ය රුක්ෂාන් ජයවර්ධන, ආචාර්ය පෘතුවිරාජ් ප‍්‍රනාන්දු, නීතිඥ රවි අල්ගම, මාධ්‍යවේදිනි කුමුදුනි හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහුද සහභාගි වූහ.