වන සංරක්ෂණය ගත් ඉඩම් යළි ගොවීන්ට


විනීතා එම් ගමගේ

 

පුත්තලම දිස්ති‍්‍රක්කයේ ගොවි ජනතාව විසින් වගා කරමින් සිටියදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ගත් ඉඩම් යළි නිදහස් කිරීමට  සංරක්ෂක ජනරාල්වරයා එකඟතාව පල කළ බව වාරිමාර්ග හා ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.

වනාතවිල්ලූව, ආණමඩුව, කරුවලගස්වැව, නවගත්තේගම, පුත්තලම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගොවීන් විසින් වගා කරමින් සිටි ඉඩම් අක්කර 10,000 කට ආසන්න ප‍්‍රමාණයක් මෙසේ නිදහස් කිරීමට වන සංරක්ෂකවරයා එකඟතාව පළ කළ බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

මෙකී ඉඩම් පවරා දීමේ කටයුත්තේ දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිසි දායකත්වයක් ලබා නොදීම හේතුවෙන් ඉඩම්  අයිතිය සම්බන්ධයෙන් ජනතාව මුහුණ දී සිටි ගැටළු විසදීමට නොහැකි  වී තිබු බවත්  ජනතාව වගා කළ ඉඩම් නිදහස් කරන්නැයි පුත්තලමේ ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශ 8 ක ජනතාව 2003 වසරේ සිට ඉල්ලීම් කරන බවත් හෙතෙම කියාසිටියේය.

මේ මාසය තුළ එම ඉඩම්වලින් සියයට තිහක් නිදහස් කිරීමට පියවර ගන්නා බවත් තවත් කොටසක් සැප්තැම්බර් මාසයේදීත් ඉතිරිය දෙසැම්බර් මාසයේදීත් නිදහස් කිරීමට පියවර ගන්නා බවටත් වන සංරක්ෂකවරයා පොරොන්දු වී යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

අමාත්‍යවරයා පෙන්වා දුන් කාරණයක් වන්නේ මේ වසර අවසන් වීමට පෙර පවුල්  දස දහසක් වෙත සින්නක්කර ඉඩම් ලබා දීමට හැකිවනු ඇති බවයි. වසර ගණනාවක් පුරා වගාකළ ඉඩම්වල අයිතිය එම ජනතාව වෙත ලබා දීමට තමන් කැපකිරීම් සිදු කළද ඒ සඳහා බොහෝ දෙනෙකුගෙන් කිසිදු දායකත්වයක් නොලැබුණු බවද පැවැසීය.