(ජනත් ද සිල්වා)
කතරගම කඳසුරිදුගම ප්‍රදේශය ආසන්නයේ පිහිටි වන ජිවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් යාල වනෝද්‍යානය මායිම්ව ඇති රක්ෂිත ඉඩමක් අනවසරයෙන් අල්ලා ගැනීමට කිසියම් පිරිසක් උත්සහකරන බව ප‍්‍රදේශවාසීහු පැවසූහ.
දේශපාලඥයකුගේ මැදිහත්වීම මත කිසියම් කණ්ඩායම් විසින් මෙම ඉඩම අත්පත් කර ගැනීමට කටයුතු කරන බව ප්‍රදේශවාසීහු කියති.
වන අලින් සහ වන සතුන් සැරි සරන මෙවැනි ඉඩම් අනවසරයෙන් අත්පත් කරගෙන ව්‍යාපාරිකයින්ට වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරමක මොවුන් නිරත වන බව ඔවුහු කියති.
ලූණූගම් වෙහෙර ප්‍රදේශයේ රක්ෂිතයක ඉඩම් අක්කර ගණනක් අත්පත් කර ගැනීමට යාමේ දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් වූ පිරිසක් මෙම ඉඩම් අත්පත් කර ගැනීමට කටයුතු කරන බවද දැන ගන්නට තිබේ.
කතරගම ගම් උදාව පිහිටි භූමියට ඉදිරිපසින් ඇති යාල වනෝද්‍යානයේ රක්ෂිත මායිම් බිම් කොටස් බොහොමයක් මේ වන විට අනවසරයෙන් එලි පෙහෙලි කර වැට මායිම් සකස් කිරීම් සිදුවන බව එහි ගිය රජයේ නිලධාරින්ට දැක ගන්නට හැකි වු බව කියයි.
කතරගම කදසුරිදුගම ගලහිටිය පාරේ කිලෝමිටර් එකහමාරක් පමණ දුර ගිය විට වෙහෙරකෙම ප‍්‍රදේශයේ සිට සෙල්ලකතරගම දක්වා අක්කර 75 කට වැඩි භූමි භාගයක් අනවසරයෙන් අත්පත් කර ගැනීමට 15 දෙනෙකු පමණ පිරිසක් එම භූමියේ රැදි සිටියි.
‘‘මෙම ඉඩම අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් අපට ක‍්‍රියාත්මක විමට හැකියාවක් නැහැ. වනජිවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළොත් ඒ සම්බන්ධයෙන් මැදිහත් වී අනවසර ඉඩම් අත්පත් කර ගන්නා පිරිස් අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දිමට හැකියාව තිබෙනවා‘‘ යැයි සම්බන්ධව කතරගම විශේෂ කාර්ය බලකාය කදවුරේ ස්ථානාධිපති එම. පල්ලියගුරු මහතා පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට පොලිස් කණ්ඩායම් යොදවන බව කතරගම පොලිස් ස්ථානාධිපති එස් යු ඒ ලියනගම මහතා සඳහන් කළේය.



