වතු සේවකයින්ට 5,000 කඩිනමින් දෙන්නැයි ඉල්ලයි


(මනෝප‍්‍රිය ගුණසේකර)
 
දැඩි පීඩාවට පත්ව සිටින රාජ්‍ය සහ පෞද්ගලික වැවිලි සමාගම් මගින් පාලනය වන වතුවල දෛනික වැටුප් ලබන සේවකයින්ගෙන් යැපෙන පවුල්වලටද සහනයක් වශයෙන් දැනට අනිකුත් ජන කොටස්වලට ලබාදෙන රු.5,000/- මූල්‍ය ආධාරය ඉතා ඉක්මනින් ලබාදෙන ලෙස ලංකා වැවිලි සේවා සංගමය රජයෙන් ඉල්ලා සිටී.
 
රටේ පවතින දුෂ්කර තත්වයන් යටතේ පවා තම ශ‍්‍රමය කැප කරමින් ජාතික ආර්ථිකය සවිමත් කිරීමට සේවය කරන නමුත් ලැබෙන ඉතා සුළු වැටුපෙන් තම පවුල් වල මූලික අවශ්‍යතාවයන් පවා සපුරා ගැනීමට නොහැකිව පසුවන වතු සේවකයින් වෙනුවෙන් ලංකා වැවිලි සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ඞී.ඞී. ගල්හේන මහතා මෙම ඉල්ලීම කර ඇත.
 
වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත වතු සේවකයින් වෙනුවෙන් ලංකා වැවිලි සේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් ඞී.ඞී. ගල්හේන මහතා ලිපි යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇත.