වතු කම්කරුවාගේත් සාක්කුවට විද්ද සක්විත්තා කොටු


(රංජිත් රාජපක්‍ෂ)

රුපියල් ලක්‍ෂ 37ක අංග සම්පුර්ණ නිවසක් රුපියල් ලක්‍ෂයක මුදලකට ඉදිකර දෙන බවට තම ගිණුමට මුදල් බැරකරගෙන මුදල් වංචා කළේ යැයි කියන පුද්ගලයකු බගවන්තලාව පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු සහ සැකකරුගේ දියණීය විසින් බගවන්තලාව ප‍්‍රදේශයේ වතුකම්කරුවන් කිහිපදෙනකුට නිවසක සැලසුම පෙන්වා ගිවිසුමක් ඇති කර ගැනිමට රුපියල් ලක්‍ෂයක මුදලක් ලියාපදිංචි ගාස්තු වශයෙන් ගෙවන ලෙස පවසා ඇති අතර එම ලියාපදිංචි ගාස්තුව සැකකරුගේ ගිණුමට වතුකම්කරුවන් කිහිපදෙනකු විසින් බැරකර මාස කිහිපයක් ගතවි ඇතත් එම නිවස ඉදිකර දිම හෝ ඔවුන් ලබාදුන් දුරකථ අංක වලට ඇමතුමක් පවා ලබා ගැනිමට නොහැකි වීම පිළිබදව  සැක සිතූ වතු කම්කරුවන් මෙම සැකකරු සහ සැකකරුගේ දියණීය සොයා ඔවුන් ලබා දුන් කොළඹ ප‍්‍රදේශයේ ලිපිනයට ගියද  ඔවුන් සොයා ගැනිමට නොහැකිවු බවට පොලිසියට පැමිණිලි ලැබී තිබිණි.

මෙම සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු හැටන් ප‍්‍රදේශයේ අවශ්‍යතාවයකට පැමිණී අවස්ථාවේ ලියාපදිංචි ගාස්තු ලබා දුන් වතුකම්කරුවකු විසින් ඔහුව හදුනාගෙන ඔහුව බලහත්කාරයෙන් රැගෙන ගොස් බගවන්තලාව පොලිසියට භාර දි ඇත.