වත්මන් රජය රට විනාශ කළා - ගෝඨාභය


කාංචන කුමාර ආරියදාස 
 
මහින්ද රාජපක්ෂ රජය වසර තුනක් ඇතුළත යුද්ධය අවසන් කොට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ බවත් නව රජය බලයට පත්ව වසර තුනක් ඇතුළත ‍ප්‍රරජාතන්ත්‍රවාදය පමණක් නොව රටම විනාශයට පත් කළ බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා  අද  ගලේවෙල නගරයේ දී පැවසීය.
 
"එළිය "  නමින්  සංවිධානය කරගෙන යන  වැඩසටහන් මාලාවේ මාතලේ දිස්ත්‍රික්   වැඩසටහන ගලේවෙල ටි .බි . තෙන්නකෝන් අනුස්මරණ ශාලාවේදී පැවැත්විණි. හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, පළාත් සභා හිටපු අමාත්‍ය  ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් ද   එළිය වැඩසටහනට සහභාගී වූහ.
 
එහිදී පැමිණ සිටි ජනතාව අමතමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ මේ වන විට රට විශාල ආර්ථික අර්බුදයකට ඇද වැටී තිබෙන බවයි. එදා බටලන්ද වධකාගාර පවත්වාගෙන ගිය  පිරිස්  මේ වන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරන බවත්,   තිස් වසරක් පැවති යුද්ධය අවසන් කොට රටේ සංවර්ධනය ස්ථාපිත කොට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම මහින්ද රාජපක්ෂ යුගයේ දී සිදුකළ බවත් මේ වන විට වර්තමාන රජය ඒ සියල්ල විකෘති කරමින් රට විශාල විනාශයකට ඇද දමන බවත් ඔහු සඳහන් කළේය.
 
මේ වන විට රට පුරා දිනපතා අපරාධ රැල්ල  වැඩිවී ඇති බවත් දිනපතාම මිනීමැරුම් රැසක් අසන්නට දකින්නට ලැබෙන බවත්,    භික්ෂූන් වහන්සේලාට ජම්පර අන්දවන යුගයක් රට තුළ ක්‍රියාත්මක වන බවත්  ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
 
ආචාර්ය පාලිත  කොහොන , රියර් අද්මිරාල් සරත් වීරසේකර, වීශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්ම මහත්මීහුද මෙම වැඩසටහනේදී අදහස් දැක්වූහ.