වයඹ පළාත් සභා මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතා රුපියල් ලක්ෂ 05 බැගින් වන පුද්ගල ඇප දෙකක් මත මුදා හරින ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා 09 දා සවස නියෝග කළේය.
මෝසමක් මගින් අශෝක වඩිගමංගාව මහතා අධිකරණය වෙත ඉදිරිපත්වී සිටියේය.
වයඹ පළාත් සභා මැතිවරණයෙන් පසුව සලකුණු කරණ ලද ඡන්ද පත්‍රිකා තොගයක් හමුවු අවස්ථාවේදී පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේදී පළාත් සභා මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතා සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ඒ.එම්.කමර්දීන් යන මහත්වරුන් තමන්ට බැන වැදී අපහාස කරණ ලදැයි පුත්තලම දිසා ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතා විසින් පුත්තලම පොලීසිය වෙත පැමිණිල්ලක් කර තිබුණි.පසුගිය මස 24 වැනිදා මෙම සිද්ධිය සිදුවී තිබුණි.
ඒ අනුව පසුගිය 30 වැනි දින අධිකරණය වෙත කරුණු වාර්තා කළ පුත්තලම පොලීසිය ඔවුනට නොතීසි නිකුත් කරණ ලෙස ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ දිසා විනිසුරු රංග දිසානායක මහතා නම් කරන සැකකරුවන් යම් වරදක් කර ඇත්නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස පුත්තලම පොලීසියට නියෝග කළේය.
හිටපු පළාත් සභා මන්ත්‍රී ඒ.එම්.කමර්න් මහතා මීට පෙර අධිකරණය වෙත ඉදිරිපත් වු අතර එම අවස්ථාවේදී ඔහු ද ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් නියෝග කළේය.